2015 වසරේදී ආනයනය කළ එළ ගවයන් රඳවා සිටින රිදියාගම ගොවිපොළ 2017 හා 2018 වසර වල රුපියල් මිලියන 173 ක් පාඩු ලබන මට්ටමට පත්ව ඇති බවද කාරක සභාවේදී ඊයේ (07) අනාවරණය විය.
2017 වසරේ ඔක්තොම්බර් 01 දින සිට 2018 සැප්තැම්බර් 30 දින දක්වා ගවයින් සඳහා රුපියල් 508,793,160 ක වටිනාකමකින් යුත් ආහාර මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියට පටහැනිව ක්‍රියා කර තිබීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය.
මණ්ඩලයේ මූල්‍ය කටයුතු අවධිමත් වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය .
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කටයුතු නෛතික රාමුව තුළ නිසි මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කිරීමට කෝප් කාරක සභාව එම මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ 2016 හා 2017 යන වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පැවැති කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු සභභාගී වූහ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 2017 වසරේ සිට 2020 වසර දක්වා වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙලෙස වාර්ෂික වාර්තා සභාගත නොකිරීම එම ආයතනයේ පවතින විශාල ගැටලුවක් බව පෙන්වා දුන් කාරක සභාවේ සභාපතිවරයා එම වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත
කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.සේනාරත්න මහතාට දැනුම් දුන්නේය.
කාලයක් තිස්සේ තනතුරු 166ක් පුරප්පාඩු ව පැවතීම ගැටලුවක් බව පැවසූ කාරක සභාව එම තනතුරු කඩිනමින් පිරවීමට කටයුතු කරන ලෙසද දැන්වීය. විධායක තනතුරු කිහිපයක් වසර කිහිපයක සිට පුරප්පාඩුව පැවතීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය නොසතුට පළ කළේය. මණ්ඩලය සතුව නීති නිලධාරිවරයෙක් නොමැති බව නිරීක්ෂණය කළ කාරක සභාව නව තනතුරක් ඇතිකර නීති නිලධාරිවරයෙක් බඳවා ගැනීම සුදුසු බව ද පැවසීය.
1974 හා 1992 යන වසරවල සිට මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලැබූ ගොවිපල 24 කට අයත් ඉඩම්වල අයිතිය විධිමත් පරිදි පවරා ගැනීමකින් තොරව එම ඉඩම්වල 2016 වසරේ දෙසැම්බර් 31 දින වන විට රුපියල් 194,565,192 ක් වටිනා ගොඩනැගිලි හා රුපියල් 701,358,733 ක් වටිනා ව්‍යුහයන් ඉදිකර තිබූ බවද කාරක සභාවේදී අනාවරණය විය.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, සී/ස මහවැලි සත්ව ව්‍යාපාරික සමාගම හා සී/ස ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන(පුද්ගලික) සමාගම යන සමාගම් තුනට හෙක්ටයාර් 12,617.43 ක භූමියක් අයත් අතර, 2019 මැයි අවසන් වන විට පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හෙක්ටයාර් 2,266.05 ක් ද, මහවැලි සත්ව ව්‍යාපාරික සමාගමේ හෙක්ටයාර් 9.7 ක් ද, ශ්‍රී ලංකා කුකුළු පාලන සංවර්ධන (පුද්ගලික) සමාගමේ කෙක්ටයාර් 35.6 ක්ද වන ලෙස එකතුව හෙක්ටයාර් 2,311.35 ක් උපයෝජනය නොවන භූමිය ඇති බවද අද පැවැති කාරක සභාවේදී හෙළි විය.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු එක්වරකදී ගවඅහාර ටොන් 3.75 ක් නිශ්පාදනය කළ හැකි යන්ත්‍ර වසර කිහිපයක සිට නිශ්කාර්යව පැවතීම සම්බන්ධවද කාරක සභාවේ අවධානය යොමු විය.
ආනයනික ගවයින් සිටින මැණික්පාලම, ඩයගම හා රීදීයාගම යන ගොවිපොළවල් වලට අවම වශයෙන් සෘජු වියදම් හෝ ආවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවටද කාරක සභාවේදී අනාවරණය වූ අතර, මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමුකරන ලෙසඳ කාරක සභාව දැන්වීය.
මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වෙලාඩ් ව්‍යාපෘතියේ කාර්ය සාධනය පිළිබඳ පූර්ණ නිරීක්ෂණයක් කර කඩිනමින් ඒ සම්බන්ධව පූර්ණ වාර්තාවක් කෝප් කාරක සභාවට ලබා දෙන ලෙස ද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත
කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.සේනානායක මහතාට දැනුම් දුන්නේය.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපළවල් හි සමහර ගිණුම්වල පවතින අසමානතා පිළිබඳව අවධානය යොමු කළ කාරක සභාව එම ගිණුම් නැවත පරීක්ෂා කළ යුතු බවද කීවේය.
මෙම කාරක සභා රැස්වීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මංජුල මාගමගේ මහතා ඇතුලු නිලධාරිහු සභභාගී වූහ.