විදේශ විනිමය මෙරටට ඉතිරි කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් රථ වාහන අංක තහඩු මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය කිරීම සඳහා කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්තශාලාව තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ප්‍රථම වරට රථ වාහන අංක තහඩු දේශීයව නිෂ්පාදනය කිරීම සහ එතුළින් වාර්ෂිකව විදේශ රටවලට ඇදී යන අතිවිශාල මුදල් ප්‍රමාණය ඉතිරි කරගැනීමට සැලසුම් කරමින් සිටින බව කොළොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ අධ්යක්ෂ කේ.පී. වතුගේ මහතා විසින් පෙන්වා දෙන ලදී.
දැනට දේශීය පෞද්ගලික සමාගමක් හරහා ක්‍රියාත්මක වන වාහන අංක තහඩු කොටස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව 2024 වසරේ සිට අවසන් වීමට නියමිත අතර එම වසරේ සිට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව විසින් මෙම වාහන අංක තහඩු කොටස් දේශීයව නිෂ්පාදනය කිරීම අරඹයි.
මේ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සමඟ රජයේ කර්මාන්ශාලා දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරීත්වය සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ. ඒ අනුව මෙම වාහන අංක තහඩු කොටස් දේශීයව නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව පිළිබඳව අවසන් ව්‍යාපෘති සැලසුමක් සහ ඉංජිනේරු වාර්තාවක් ඉදිරි මාස 06 ඇතුළත මෝටර් රථ වාහන කොමසාරිස්වරයාට ලබාදීමට නියමිතව තිබේ.
අගමැතිවරයාගේ මෙම වැඩපිලිවෙළ 2024 දී ඇරඹීමත් සමඟ ම එම මුදලත් රාජ්‍ය අංශය තුළ ම ඉතිරිවීම සිදුවෙයි. ඒ අනුව, දැනට දේශීය පෞද්ගලික සමාගමක් යටතේ ක්‍රියාත්මක මෙම කොන්ත්‍රාත්තුව 2024 දී අවසන්වීමත් සමඟම වාහන අංක තහඩු නිෂ්පාදනය කිරීම කොළොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සතුවෙයි. වාහන අංක තහඩු නිෂ්පාදනය සඳහා වැයවන සියළු මුදල් රටතුළ රැදීමත්, එය රජය සතුවීමත් විශේෂත්වයකි.
වාහන අංක තහඩුවක් මේ වන විට වාහන හිමියන්ට ලබාදෙන්නේ රුපියල් 3,300 ක් වැනි මුදලකටයි. විදේශයෙන් ගෙන්වන අර්ධ වශයෙන් සැකසූ තහඩු කොටසක මිළ රුපියල් 2,200 ක් ලෙස දැක්වේ.
නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹීමත් සමඟ ම ඉදිරියේදී ප්‍රමිතියෙන් යුතු තහඩු මඟින් වාහන අංක තහඩු සකසා වත්මන් මිලට වඩා අඩු මිලකට වාහන හිමියන්ට ලබාදීමට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව දැනටමත් සැලසුම් සකස් කරමින් සිටියි.
2024 වසර සඳහා සකස් කළ සැලසුම් අනුව මේ වන විට මෙරට ලියාපදිංචි කරන නව වාහන ප්‍රමාණය ලක්ෂ 12 ක් පමණ වන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. ඒ අනුව, ලක්ෂ 24 ක වාහන අංක තහඩු ප්‍රමාණයක් වාර්ෂිකව රටට අවශ්‍යවෙයි. ඒ සඳහා දැනට පවතින මිල ගණන් යටතේ රුපියල් මිලියන 1,440 ක මුදලක් වැය කළ යුතුය. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ මෙම නව වැඩපිළිවෙළ යටතේ එම මුදලත් රට තුළම ඉතිරිවේ. මේ අනුව, අවසන් නිමැවුම සඳහා රාජ්‍ය අංශයෙන්, පෞද්ගලික අංශයට ලබාදෙන මුදල වූ රුපියල් මිලියන 720 ක මුදල ද රාජ්‍ය අංශය තුළම ඉතිරිවේ. මේ අනුව, මෙම දෙකේ එකතුව වන රුපියල් මිලියන 2,160 ක මුදලක් මෙරට රාජ්‍ය අංශය තුළ ඉතිරිවීම සිදුවෙයි.