ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර සිදුකෙරෙන සාකච්ඡාවලින් අනතුරුව රට තුළ ක්‍රියාත්මක කළ යුතු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.
කෙසේවුවද අදාළ සාකච්ඡා සඳහා ඔවුන් දෙදෙනා හැර වෙනත් පිරිස් සහභාගි නොවන බවද හෙතෙම සඳහන් කර සිටියේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේදී පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ (11දා) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා,
"සාමාන්‍යයෙන් ජනාධිපතිතුමා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ඇති වෙන සාකච්ඡාවලට වෙනත් පිරිස සහභාගි වෙන්නේ නැහැ. ඒ සාකච්ඡාවලදී අපට දැනගන්න අවශ්‍ය දේ එතුමන්ලා අපට දැනුම් දෙනවා. කෙසේ වුණත් මේ රටේ ඉදිරි කටයුතු සිදුකිරීම සම්න්ධයෙන්, සමහර කාරණා සම්බන්ධයෙන් අපට අවශ්‍ය උපදෙස් ඒ සාකච්ඡාවලින් අනතුරු ලබාදෙනවා.
එය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා කරන විශේෂ සාකච්ඡාවක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමා වුණාට පසු විටින් විට ඔවුන් දෙදෙනා මුණගැහිලා සාකච්ඡා කරනවා. ඒවා රහසිගත, කුමණ්ත්‍රණකාරී දෙයක් නොවේ. මේ රට වෙනුවෙන් ඒ දෙදෙනා එකතුවෙලා රටේ අනාගතය වෙනුවෙන් කරන සාකච්ඡාවක්" යැයිද පවසා සිටියේය.