සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයින් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි සංචාරක අමාත්‍යංශය පැවසීය. ඒ අනුව චීන,රුසියා,ඉන්දියා,තායිලන්ත ඉන්දුනීසියාව යන රටවල් වලින් පැමිණෙන සංචාරකයින් සඳහා නිදහස් වීසා අවස්ථාව හිමිවනු ඇත.
මේ සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු,මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්,විදේශ කටයුතු අමාත්‍ය අලිසබ්රි යන මහත්වරුන්ගේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙසය.
එයට එළඹෙන කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය හිමි වෙනු ඇතැයි අමාත්‍යංශය බලාපොරොත්තු වේ
රටවල් රැසක සංචාරකයින් වීසා බලපත්වලින් නිදහස් කිරීමේ අරමුණ වන්නේ "සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම හා ඒ අනුව වසරකට මිලියන පහක සංචාරක ආකර්ෂණයක් හිමිකර ගැනීම බව ද අමාත්‍යංශය සඳහන් කරයි.
සංචාරක නිර්දේශ රටවල් විස්සට ශ්‍රී ලංකාව ද අයත් වන හෙයින් එයින් උපරිම ප්‍රයෝජන ගැනීමටද මෙයින් බලාපොරොත්තු වන බව ද අමාත්‍යංශය පවසයි.
වීසා ලබා ගැනීම සඳහා වැය වන මුදල් සහ කාලය මෙම වැඩපිළිවෙළ මගින් ඉතිරි වන අතර විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමේ ප්‍රවණතාව ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය.
ලංකාවේදී මුදල් අය කොට නැරබිය යුතු ස්ථාන සඳහා විශේෂ පැකේජ ක්‍රමයක් යටතේ එකවර අදාළ ප්‍රවේශ පත්‍ර ලබා දීමේ ක්‍රමවේදයක් ද හඳුන්වාදීමට නියමිතය.