රටක් ලෙස ඉදිරියට යාමට නම් සෑමදෙයක් වෙනුවෙන්ම ජාතික ප්‍රතිපත්ති සකස්විය යුතු යැයි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව කියා සිටියේ ජාතික ක්‍රීඩා සභාවේ ඉදිරි ක්‍රියාකාරිත්වය හා සැලසුම් පිළිබඳව ජාතික මට්ටමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දීය.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.
ක්‍රීඩාව, අධ්‍යාපනය, ආර්ථිකය මෙන්ම සෑමදෙයක් වෙනුවෙන්ම රටට අවශ්‍ය වෙන්නේ යම් ප්‍රතිපත්තියක්.ව්‍යවස්ථාවක් ගේන්නේ නායකයෙක් ගේන්න. එහෙම නැත්නම් ඉන්න නායකයා එලවන්න. ව්‍යවස්ථාවක් ගේන්න අවශ්‍ය වෙන්නේ රටේ අනාගතය ගැන හිතලයි. රටේ දීර්ඝකාලීන අනාගතය ගැන හිතලා ශක්තිමත් ව්‍යවස්ථාවක් හැදෙන්න අවශ්‍යයයි.
අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණා නම් මේ රටේ නිෂ්පාදන ශක්තිමත්වෙනවා. මිනිස්සු ව්‍යාපාර ආරම්භ කරන්න බයයි. අවුරුදු 2 ,3කින් එන ආණ්ඩුව ඒ ප්‍රතිපත්තිය වෙනස් කරනවා.
ඒ වගේම ක්‍රීඩාවටත් ප්‍රතිපත්තියක් අනිවාර්යයෙන්ම වැදගත්.
අපි ඉන්නේ මාස 06 ද අවුරුද්ද ද කියන එක නෙවෙයි වැදගත්. ඒ ඉන්න කාලය තුළ හොඳ දෙයක් කරමු. හොඳ දේවල් ආරම්භ කරමු. ඊළඟට පත්වෙන අමාත්‍යවරයා ඒ හොඳ දේවල් ඉදිරියට කරගෙන යයි.
ගොඩක් වෙලාවට එන මතවාද තුළ මම දරන්නෙ වෙනස් ම මතයක්. දැන් යන කතිකාවත තමයි ඒගොල්ලෝ නව ලෝකයේ ක්‍රීඩා කළ අය නෙවෙයි. ඒ අය යල් පැන ගිය කාලේ ක්‍රීඩා කළ අය. ඒ අයගේ අදහස් අරගෙන වැඩක් නැහැ කියන එක. ඒ මතයේ නෙවෙයි මම ඉන්නේ.
එදා හිටපු දේශපාලන නායකයින්ගේ හොඳ අපි අගය කරනවා වගේම ක්‍රීඩාවෙන් රටට සුවිශේෂි මෙහෙවරක් ඉටු කළ මහත්ම මහත්මීන් පිරිසක් තමයි අද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්නෙ. ඒ අය අපි අගය කරනවා. ඔවුන්ට ගරු කරනවා.
බොහෝදෙනා ක්‍රීඩාවට යොමුවීම බොහොම අඩු මට්ටමක තියෙන්නේ. ඒ කාරණයට ප්‍රායෝගිකව විසඳුම් දිය යුතු බව අපි දකිනවා.
මගේ අනුමැතිය දෙන්න පුළුවන් දේවල් අනුමත කරන්න මම කිසිම වෙලාවක පැකිලෙන්නේ නැහැ. ඊට අමතරව කැබිනට් මණ්ඩලයෙන් විසඳගන්න පුළුවන් දේවල් සඳහා අවශ්‍ය සහයෝගය මා ලබාදෙනවා. පාර්ලිමේන්තුව දක්වා ගෙන ගොස් සංශෝධනය විය යුතු කාරණා තියෙනවා නම් ඒ් ටිකත් කඩිනමින් සකස් කර දෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, අර්ජුන රණතුංග, සුනිල් ජයවීර, සුසන්තිකා ජයසිංහ, ශ්‍රියානි කුලවංශ, සමන් වීරවංශ, චන්දන ඒකනායක, සමන්තා නානායක්කාර යන ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වූහ.
