මේ රටේ ආර්ථිකය කඩාවැටීමට හේතු වූයේ පසුගිය රජය සමයේ තමන් විසින් අනුගමනය කළ වැඩපිළිවෙල මේ රජය විසින් නතර කිරිම බවත් එම නිසා එම ව්‍යාපාර කඩාවැටුණු අතර සෘජුවම ලක්ෂ හතරකට පමණ රැකියා අහිමි වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (26)දා හාලිඇල ප්‍රාදේශීය සභා මහජන ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක රැළියක් අමතමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා ,
“මේ හාලිඇල ප්‍රදේශය ගත්තාම මේ ප්‍රදේශයේ සිටින විශාල පිරිසක් කුඩා තේ වතු හිමියන්. තමුන්නාන්සේලා දන්නවා අපේ රටේ තේ ගුණාත්මක වශයෙන් ඉහළ තත්ත්වයක තිබෙනවා. ඒත් පසුගිය කාලයේ ලෝකයේ විවිධ රටවලින් ගුණාත්මක බවින් අඩු තේ ගෙන්වා අපේ තේවලට කවලම් කොට පිටරට යැවීම නිසා අපේ තේවලට තිබූ මිල පහළ ගියා. මේ තේ කර්මාන්තය කියන්නේ අපේ රටට විදේශ විනිමය ලැබෙන මූලික ක්ෂේත්රයක්. එය ආරක්ෂා කරගැනීම රජයක වගකීමක්.
ඒත් අද වන විට තේ වතු කම්කරුවාට වැඩ කරන්න ලැබෙන්නේ සතියට දවස් හතරයි. තේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැසි ගිහින්. විදේශ තේ වෙළඳපොළ කඩා වැටිලා. අපේ රජයක් තුළ මේ තේ කර්මාන්තය යළි නඟා සිටුවා එම කර්මාන්තය ආරක්ෂා කරන්න අප කටයුතු කරනවා.
අද වන විට මේ රටේ තේ ගොවියා පමණක් නොවේ සෑම ක්ෂේත්රයකම ගොවියා අපහසුතාවයට පත්වෙලා. වී ගොවියා, එළවළු ගොවියා, අල ගොවියා මේ සැම දෙනාම අපහසුතාවයට පත්ව සිටිනවා. මේ රජය රටේ කෘෂිකර්මාන්තය නංවන්න ප්රමුඛත්වයක් දුන්නේ නෑ. ඒ නිසා අපේ රජයක් යටතේ ගොවියා ආරක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ගොවියා වෙනුවෙන් පොහොර සහනාධාරය නොමිලේ ලබාදෙනවා. ගොවීන් ලබාගෙන ඇති ගොවි ණය අපි කපා හරිනවා. කෘෂිකර්මාන්තයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඇතුළු එම ක්ෂේත්රය මත පනවා ඇති බදු අපි ඉවත් කරනවා. ගොවීන්ට අවශ්‍ය බීජ වර්ග යන්ත්‍ර සූත්‍ර හා තාක්ෂණය වෙනුවෙන් බදු සහන හා දිරිගැන්වීම් ලබාදිමට පියවර ගන්නවා. කෘෂිකර්මාන්තයට අදාළ නවීන තාක්ෂණය මේ රටට ගේනවා. ජල කළමනාකරණය, පොහොර යෙදීම, අස්වනු නෙලීම, ඇසිරීම, ප්‍රවාහනය මේ සැම දෙයකටම අදාළ දියුණු තාක්ෂණ ක්‍රම අද භාවිතා වෙනවා. මේ තාක්ෂණය නැතිව අපට අපේ තරුණ පරපුර කෘෂිකර්මාන්තයට යොමුකරන්න හැකියාවක් නෑ.
එපමණක් නොවේ, අද සෑම ආකාරයකම ව්‍යාපාර කඩාවැටිලා. එදා අප මේ රට ත්‍රස්තවාදයෙන් බේරාගත්තා පමණක් නොවේ විශාල සංවර්ධනයක් සිදුකළා. එහිදි අප සම්බන්ධ කරගත් ඉදිකිරීම්කරුවන්, ඉංජිනේරුවන්, සැපයුම්කරුවන් සියලු දෙනා මේ රටේ අය. එහිදී අප අනුගමනය කළ වැඩපිළිවෙලට අනුව මේ රටේ ව්‍යාපාර ක්ෂේත්රය දියුණුවට පත්වුණා. ඒත් මේ රජය ඒ වැඩපිළිවෙල නතර කළා. ඒ නිසා ව්‍යාපාර කඩාවැටුණා. සෘජුවම ලක්ෂ හතරකට පමණ රැකියා අහිමි වුණා. රටේ ආර්ථිකය කඩාවැටුණේ ඒ නිසයි.
අපේ සංචාරක කර්මාන්තය දියුණු කරන්නනම් සංචාරකයින් එන රටවල් හඳුනාගන්න ඕනෑ. සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් නංවන්න පහසුවෙන් වීසා ලබාදෙන්න මේ වගේ දේ තුළින් සංචාරක ක්ෂේත්රය දියුණු කරන්න ඕනෑ. එවිට පුද්ගලික අංශයත් ඒ අයගේ ව්‍යාපාර දියුණු කරගනියි. රැකියා ලබාදෙයි. මේ සියලු දේ සඳහා රටේ සාමය ස්ථාවර කොට ආරක්ෂා කරන්න ඕනෑ.
මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ රජය කිසිම අවධානයක් යොමු කළේ නෑ. ඒ නිසයි මේ රටේ නැවතත් බෝම්බ පුපුරන්න පටන්ගත්තේ. අපි මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරලා පැහැදිලි ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කළා. ඒක මේ අය නැති කළා. ඒ නිසයි රට මේ තත්ත්වයට වැටුණේ” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.