විපක්ෂය සංවිධානාත්මකව වන විනාශයක් ගැන කියමින් රජයට චෝදනා කොට රටේ ජනමතය වෙනස් කිරීමට උත්සාහ කරන බවත් එමගින් ආණ්ඩුවට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ උපක්‍රමය වී ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රෙජී රණතුංග සමරු ශාලාවේ පැවති රන්ලිය අරුණ කාන්තා සංවිධානයේ සමාරම්භක උත්සවයේදී අමාත්‍යවරයා එසේ සදහන් කළේය.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
" කාන්තා සංවිධාන සහ තරුණ සංවිධාන කැදවනවිට ඇතැම් අය හිතන්නෙ මැතිවරණයක් ළඟ ඇති කියලයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කිසිසේත්ම මැතිවරණ ඉලක්ක කර ගෙන කටයුතු කරන ආණ්ඩුවක් නොවෙයි. සෑම විටකම අපි කටයුතු කරන්නෙ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් මතයි. ඒ නිසා කිසිවෙකුත් කලබල වියයුතු නැහැ.
රට අර්බුදවලට මුහුණ දෙන සෑම අවස්ථාවකම කාන්තාවන් පෙරට ආව.2005 දී මහින්ද මහත්තයගෙ ජයග්‍රහණයට මූලිකත්වය ගත්තේද කාන්තාවන් බව අමතක කරන්න බැහැ. 2015 න් පසුව මහින්ද මහත්තය නැවත දේශපාලනයට ගේන්න මූලිකත්වය ගත්තේද මේ රටේ කාන්තාවො. මොකද ඔවුන් තමයි මේ රටේ යුද්ධයෙන් පසුගිය කාලයේදී වැඩිපුරම බැට කෑවෙ.
වන විනාශය අද සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනව. මේ රජය වනාන්තර විනාශ කරන්න බලයට ආවෙ නැහැ. අපි සැම විටම කටයුතු කරන්නෙ වන සම්පත ආරක්ෂා කර ගැනීමටයි. විපක්ෂය සංවිධානාත්මකව වන විනාශයක් ගැන කියමින් රජයට චෝදනා බැර කොට රටේ ජනමතය වෙනස් කිරීමට උත්සාහ කරනව. එමගින් ආණ්ඩුවට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ උපක්‍රමයයි.
ඇතැම් සමාජ මාධ්‍ය පිටරටවල වනාන්තර එළි කිරීමේ ඡායාරූප යොදා ගනිමින් මෙරට වන විනාශයක් සිදුවෙන බවක් පෙන්වීමට උත්සාහ කරනව. මේවාට රැවටෙන්න එපාය කියල මම කියනව. මේ රටට හානිවන කිසිම දෙයක් රජය කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රජය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය අබමල් රේණුවකින්වත් පලුදු කරන්නට අපි සූදානම් නැහැ."
ගම්පහ තිලකරත්න දිසානායක