වසර කිහිපයක සිට පොහොර සමාගම්වලින් රසායනික පොහොර හා කාබනික පොහොර මිල දී ගැනීම නිසා රුපියල් මිලියන 17,000ක මුදලක් එම සමාගම්වලට රජය විසින් ගෙවිය යුතු බව අදාල පොහොර සමාගම් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
මේ අනුව රසායනික පොහොර ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 11,000ක් සහ කාබනික පොහොර සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 6000ක් අදාල සමාගම්වලට ගෙවීමට සිදු ව තිබේ.
පසුගිය වසරේ දී හිඟ මුදල් රුපියල් මිලියන 4000ක් ගෙවා ඇතත්, තවත් රුපියල් මිලියන 17,000ක් ගෙවීමට ඇතැයි අදාල පොහොර සමාගම් නියෝජිතයෝ ඊයේ (13) පැවැති රුස්වීමක දී හෙළිදරව් කළේය.
යල කන්නයට අවශ්‍ය පොහොර ලබා දීම සම්බන්ධව ඊයේ (13) පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැති අතර එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා රජය විසින් මුදල් ප්‍රතිපාදන ලබා දෙන ආකාරය අනුව අදාල හිඟ මුදල් පියවීමට කටයුතු කරන බව සඳහන් කළේය.
මෙවර මහ කන්නයේ දී රජයේ පොහොර බෙදා දීමේ වැඩ පිළිවෙළ තුළ පොහොර රට පුරා බෙදා හැරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 06ක මුදලක් වැය කර තිබේ.