වර්තමාන රජය වෙනස් වන තුරු රට ගොඩගත නොහැකි බවත් විදෙස් රටවල සහය ලබා ගැනීමට නම් නිශ්චිත කාලයකට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ඉක්මනින් ම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව රජයක් පිහිටුවිය යුතු බවත්වී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) සවස චීන තානාපති චී චෙන් හොන්ග් මහතා සමග පොලොන්නරුවේ දී පැවති සාකච්ඡාවකින් පසු ව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි.
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඊයේ (10) සවස පොලොන්නරුව නව නගරයේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසට ඔහුව හමුවීමට පැමිණියේ ය.
චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට ලබා දුන් විශාලතම වකුගඩු රෝහල ජනතා අයිතියට පවරා වසරක් සපිරීම නිමිත්තෙන් එම රෝහලට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ ඇතුළු ආධාර රැසක් රෝහල වෙත භාර දීමේ උත්සවයක් අද (11දා) පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමීව මෙම හමුව සංවිධානය කර තිබුණි.
එහි දී හිටපු ජනාධිපතිවරයා හා චීන තානාපතිවරයා අතර වර්තමානය වන විට ශ්‍රීලංකාව පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය හා ඊට මුහුණ දීමට චීනයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳව සාකච්ඡා කොට ඇත.
"වර්තමානය වන විට පොලොන්නරුවේ ජනතාවට විතරක් නෙමෙයි රටේම ගොවි ජනතාවට විඳින්න වෙලා තියෙන ප්රශ්නය පොහොර විතරක් නෙමෙයි ඩීසල් නැති එක.අද වෙනකොට ඩීසල් පොලොන්නරුවේ විතරක් නෙමෙයි කොළඹත් නැහැ.
පොහොර ප්‍රශ්නයත් කොයි දවසේ විසඳෙයි ද කියලා නිශ්චිතව කියන්නත් බෑ.රටේ ආර්ථිකය සම්බන්ධයෙන් චින තානාපතිතුමන්ගේ මතය වුණේ චීන රජය පුළුවන් තරම් අපේ රටට උදව් කරනවා කියන එකයි.කොවිඩ් කාලයේත් උදව් කෙරුවා.චීනයෙන් ඉදිරියේ දී විශාල සහල් ප්‍රමාණයක් ලබා දෙනවා ආධාර වශයෙන් ඒ වගේම මේ වෙලාවේ පුළුවන් තරම් රටේ ආර්ථික අර්බුදය ගොඩගැනීමට උදව් කරන බව කීවා.
ඉදිරියේ දී රටේ සාගත තත්ත්වයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා.ඇමතිවරු ඉහළ නිලධාරීන් මොනවා කිව්වත් රටේ ආහාර අර්බුදයක් ඇතිවෙමින් තිබෙනවා.රටේ ආහාර නිෂ්පාදනය සෑම අතින් ම කඩා වැටිලා තියෙන්නේ.පොහොර නෑ තෙල් නෑ.ඩීසල් නැහැ,වල් නාශක කෘමිනාශක නෑ.මේ තත්ත්වය උඩ වී ගොවිතැන විතරක් නෙමෙයි එළවලු පළතුරු,තේ,ධාන්‍ය,බඩ ඉරිගු මේ හැම නිෂ්පාදනයක් ම විශාල වශයෙන් පහත වැටිලා තියෙන්නේ.
මේ විදිහට ගිහිල්ලා මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කමක් නෑ.ඒක තමයි අපි හැම තිස්සේම කිව්වේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා.අපි දැන් මාස තුනක ඉදන් කියනවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න.මම පෙරේදාත් පාර්ලිමේන්තුවේ දී කිව්වා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයින් එකතු වෙලා සාකච්ඡා කරලා 15ක විතර ඇමති මණ්ඩලයක්.සුළු කාලයක් මැතිවරණයක් දක්වා.
එතකොට ලෝකයේ රටවල් ගොඩක් අපට උදව් කරනවා.අපි ලෝකයේ විවිධ තානාපති අංශ එක්ක කතා කරනවා.ජාත්‍යන්තර සංවිධාන එක්කත් මම පුද්ගලිකවත් කතා කළා.ඒ හැම දෙනෙක් ම කියන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා මැතිවරණය තියෙන දිනයක් තීන්දු කරනවා නම් රටවල් ගොඩක් මීට වඩා ආධාර කරනවා කියලා.
අපි දැන් විපක්ෂයේ ඉන්නේ.සහයෝගය දෙන්න පුළුවන් කරුණු තිබුණොත් අපි විපක්ෂයේ ඉඳ ගෙන සහාය දෙනවා.දැන් ඊයේ පාර්ලිමේන්තුවේ විදුලි පනතටත් මම ඡන්දය දුන්නේ නැහැ.අපට එකඟ වෙන්න බැරි කරුණු තිබුණා.පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පණත් හා යෝජනාවල දී ජනතාවගේ යහපත දූෂණ වංචාවලින් තොරව කෙරෙන කටයුතුවල දී නම් අපි සහයෝගය දෙනවා.
එහෙම නැතුව අපි රජයට උදව් දෙන්නේ නෑ.විශේෂයෙන් ම රජය වෙනස් වෙනකල්, රජය වෙනස් වෙනකල් මේ රට ගොඩ ගන්න පුළුවන්කමක් නැහැ.මේ රට ගොඩ ගන්න පුළුවන් එකම ක්‍රමය විශේෂඥයින්,ආචාර්ය මහාචාර්යවරුන්,උගතුන් බුද්ධිමතුන් කියන්නේත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න.ඒ තුළ ලෝකයේ රටවල් උදව් කරයි.ඒ අනුව රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් හදමු කියලයි.
රටේ තිබෙන ප්‍රධානම ප්රශ්නය බඩගින්න ආහාර අර්බුදය විසඳන එක.ඒත් එක්කම 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන එක.ඒ හරා බලය එක කෙනෙකුට පවුලකට යනවාට වඩා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වුණාම ලෝකයේ රටවල් උදව් කරන්න ඉදිරිපත් වෙනවා." යැයි ද ඒ මහතා කීය.

