රජය වහාම මැදිහත් වී සාමාන්‍ය පාරිභෝගික ජනතාවට පාලන මිලට සහල් මිලදී ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
නාමල් කරුණාරත්න මහතා ප්රමුඛ කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයේ සාමාන්‍ය ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි සිල්ලර වෙළඳසැල් වලට ගොස් සාමාන්‍ය ජනයා සහල් මිලදී ගන්නා මිල ගණන් පිළිබඳව අද (18) සොයා බැලීමක් සිදු කළහ.
එහිදී සාමාන්‍ය පාරිභෝගික ජනතාව හා සිල්ලර වෙළඳුන් කියා සිටියේ නාඩු සහල් කිලෝව රුපියල් එකසිය තුනේ සිට රුපියල් 110 දක්වා වූ මිලකට අලෙවි කරන බවද සම්බා සහල් රුපියල් 110 කට 105 කට අලෙවි කරන බව ය.
පසුගියදා රජය මගින් ප්‍රකාශයට පත් කෙරුණේ සහල් කිලෝව රුපියල් සියයකට අඩුවෙන් අලෙවි කරන ලෙස දැනුම් දුන් බවයි. එහෙත් මෝල් හිමියන් රජයට එසේ ප්‍රකාශ කළ ද සාමාන්‍ය වෙළඳුන්ට එම මිල ගණන් යටතේ අලෙවි කිරීමට සහල් ලබා නොදී රුපියල් එකසිය පහකට අලෙවි කිරීමට මුද්‍රණය කොට ලබාදීම සිදුකරන බවද නාමල් කරුණාරත්න මහතා සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය කර දුන්නේය.
මෙහිදි වෙළඳසැල් හිමිකරුවන් නාමල් කරුණාරත්න මහතා සමඟ කියාසිටියේ තොග වෙළඳකරුවන් සහල් වැඩි මිලට අලෙවි කිරීම නිසා රුපියල් දෙකක ලාභයක් තබාගෙන හාල් අලෙවි කරන බවය. ඇතැම් පාරිභෝගික ජනතාව සාමාන්‍ය වෙළෙන්දා සමඟ ගැටුම්කාරි තත්ත්වය ඇතිවන බව ද ඔවුහු පෙන්වා දුන්හ.
මෙහිදී නාමල් කරුණාරත්න මහතා කියාසිටියේ රජය ගන්නා තීන්දු තීරණ සාමාන්‍ය ජනතාවට ගලා නොයන බවත් මෙහිදි සාමාන්‍ය වෙළඳසැල් හිමිකරුවන් හා ජනතාව අතර ගැටුමක් නිර්මාණය කොට තිබෙන බවය. ප්‍රධාන සහල් මෝල් හිමියන් අඩු මුදලකට සහල් ලබා නොදෙන බවත් පැරණි මිල සූත්‍රය යටතේ රුපියල් 80 කට අඩු මිල ගණන් යටතේ සහ සිල්ලරට අලෙවි කිරීමට හැකියාව පවතින බවද නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.
වහාම රජය මේ පිළිබඳව අවධානය යොමු කොට දැනට ගැසට් කර ඇති පාලන මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීමට වැඩ පිළිවෙලක් සකසන්නට ඉල්ලීමක්ද කළේය.
වෙළඳසැල් හිමියන් කියා සිටියේ මහජනතාව හෝ රජයේ නිලධාරීන් හෝ මහා පරිමාණ වී මෝල් හිමිවරුන්ට ගොස් අඩු මුදලට සහල් ලබාදෙන ලෙස බලපෑම් කළ යුතු බවය.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස