රජය නව බදු ගණනාවක් පනවමින් ජනතාවට බදු පිට බදු ගසා ඊළඟ මැතිවරණවලට මුදල් සොයමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
විශේෂ භාණ්ඩ හා සේවා බද්ද, වැට් බදු සංශෝධනය හා අධිකාරී බද්ද සංශෝධනය කරමින් මෙලෙස ජනතාව මත බදු පනවා තිබෙන බවද විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අධිකාරී බද්ද යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විශ්‍රාම වැටුප් අරමුදලෙන් හා සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් 25෴ක බද්දක් අය කර ගැනීමට කටයුතු කිරීම ගැන මුදල් අමාත්‍යාංශය ලැජ්ජා විය යුතු බවද නියෝජ්‍ය නායකවරයා සඳහන් කළේය.
කොළඹ හයිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයේදී අද (08දා) ව්‍යාපාරිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
"ආණ්ඩුව බදු පිට බදු ගහන්න පටන් අරගෙන. දැන් විශේෂ භාණ්ඩ හා සේවා බද්ද යැයි බද්දක් ගෙනල්ලා. මේක වැට් බද්දට සමානයි. අනෙක මෙයින් එකතු කරන මුදල් ඍජුව යන්නේ මුදල් අමාත්‍යාංශයේ ගිණුමකට. සාමාන්‍යයෙන් බදු මුදල් යන්නේ මහාභාණ්ඩාගාරයේ පොදු අරමුදලට. නමුත් මේ මුදල් අමාත්‍යාංශයට යනවා. මෙහි සැකයක් තියෙනවා.
අනෙක් පැත්තෙන් වැට් අය කරන ආයතන හා පුද්ගලයන් ගණන වැඩි කරන සංශෝධනයක් ගෙනල්ලා. මේ පනත් දෙකට අමතරව අධිකාරී බද්ද පනත යටතේ 25%ක අධිභාරයක් සමාගම්වලට එකතු කරමින් මුදල් අමාත්‍යාංශය නව ගැසට් නිවේදනයක් නිකුත් කරලා. හොඳම කාරණය කියන්නේ මේ අධිභාරය අය කරන සමාගම් යටතට විශ්‍රාමික පාරිතෝෂික අරමුදල හා සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් කිහිපයක් එකතු කර තිබීමයි.
සේවක අර්ථ සාධක අරමුදල වගේ අරමුදල් කියන්නේ සමාගම් නොවෙයි. මේවාත් සමාගම් යටතට ඇතුළත් කරලා තියෙන්නේ මෙහි තියෙන මුදල් ටිකටත් විදින්නයි. වැඩිම ලාභයක් ලබන අරමුදලක් ලෙස සේවක අර්ථ සාධක අරමුදල හඳුන්වන්න පුළුවන්. රුපියල් ට්‍රිලියන 03කට වඩා මුදලක් මෙහි තිබෙනවා. ලාභය පමණක් බිලියන 250කට වැඩියි.
දැන් ආණ්ඩුවට මුදල් නැති නිසා බදු වැඩි කරනවා. බදු පිට බදු ගසමින් මේ සූදානම් වෙන්නේ ඊළඟ ඡන්ද වෙනුවෙන් මුදල් හොයාගන්නයි. අනෙක අච්චු ගහපු මුදල් ටික ආපහු ඇදලා ගන්න ක්‍රමයක් තියෙන්නත් ඕනනේ. අනෙක මෙතන තියෙන වැදගත්ම කාරණය සේවක අර්ථසාධක අරමුදලට මුදල් යොදන සේවක සමාගම් තැන් දෙකක දී බදු ගෙවනවා. සමාගම හැටියට වෙනම බද්දක් ගෙවනවා. ඊටපස්සේ සේවක අර්ථ සාධක අරමුදලෙනුත් බදු ගන්නවා. තැන් දෙකකදී බදු එකතු කරගැනීමේ ක්‍රමයක් තමයි මේ හඳුන්වා දෙන්න යන්නේ.
ඩොලර් අර්බුදය විසඳාගන්න ක්‍රමයක් තවම ආණ්ඩුවට නෑ. මුදල් ඇමතිවරයා එක පැත්තකින් අයි.එම්.එෆ් යනවා කියනවා. අනෙක් පැත්තෙන් මහබැංකු අධිපතිවරයා කියනවා අපි අයි.එම්.එෆ් යන්නේ නෑ කියලා. එතකොට අපි කවුරු කියන එකද පිළිගන්නේ. ඩොලර් අර්බුදය වැඩි වෙද්දී රටේ සියලු අර්බුද වැඩි වෙනවා. ආනයනය කරන සියලු භාණ්ඩ දැන් නතර වෙලා තියෙන්නේ"යනුවෙන් කියා සිටියේය.
