රටේ ආණ්ඩුව අනුගමනය කරන යටත් වෙච්ච දීන ප්‍රතිපත්තිය නිසා වෙනත් රටවල පක්ෂ නායකයන් හා ආණ්ඩු අපේ රටට බලපෑම් කිරීමට පටන් ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය.
ඒ බලපෑම් කිරීමේ එක් අවස්ථාවක් ලෙස ඉන්දියානු භාරතීය ජනතා පක්ෂයේ ශාකාවක් මෙරට පිහිටුවීමට පියවර ගන්නා බව පැවැසීම මඟින් තහවුරු වන බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
මස්කෙළිය, බ්රවුන්සීක් වතුයායේ පැවැති වතු කම්කරු හමුවකට ඊයේ (16) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහෙදී තවදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා ,
ඉන්දියාවේ දේශපාලන පක්ෂය ලංකාවේ පක්ෂ ශාකාවක් හදන්න යනවා කියලා ප්‍රවෘත්තියක් මේ දිනවල පවතිනවා. නමුත් ඇත්ත කතාව ගත්තොත් අපි හොයලා බැලුවොත් වගකීමෙන් කියන්න පුළුවන් නිල ප්‍රවෘත්තියක් නෙවෙයි ඒක කියලා.
එම පක්ෂයේ නායකයෙක් කුමණ හෝ අවස්ථාවක කිව්වායි කියලා තමයි කියන්නේ. අපේ රටේ නීතිය ගත්තමත් අපි හිතෙනවා වෙන රටක පක්ෂයකට අපේ රටේ ශාකා පිහිටුවීමට නීතිමය අවස්ථාවක් නැහැ කියලා. මැතිවරණවලටත් ඉදිරිපත් වන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් අපි මේකෙන් දකින්නේ අපේ රටේ ආණ්ඩු අනුගමනය කරන යටත් වෙච්ච, දීන වෙච්ච ප්‍රතිපත්තියි.
ඉන්දියාව, චීනය වැනි රටවල් අපේ රටට විශාල බලපෑමක් සිදු කරමින් පවතිනවා. විශේෂයෙන්ම අපේ රටේ ආණ්ඩු ණය මතයි යැපෙන්නේ. ඒ නිසා මේ රටවලට යටත් වෙලා තියෙනවා. එහි ප්‍රතිලයක් ලෙස තමයි ඉන්දියාව වගේ රටවල පක්ෂ නායකයෝ තම පක්ෂ ලංකාවේ පිහිටුවන මට්ටමට කතා කරන්නේ. අපේ රටේ ආණ්ඩු අනුගමනය කරන වැරදි ප්‍රතිපත්ති නිසයි මෙහෙම වෙලා තියෙන්නේ. රටේ නායකයෝ නිවට උනෝතින් අනිවාර්යෙන්ම අහල පහල රටවල් අපිට එරෙහිව බලපෑම් කරන්න පටන් ගන්නවා කියලා තමයි අපි තේරුම් ගත යුතුව තියෙන්නේ.
ගගට මුට්ටි දැමීම, පැණියක් පස්සේ යාම වැනි නොයෙක් දේවල් ආණ්ඩුව කොරෝනා මර්ධනයට සිදු කලා. දැන් එන්නතක් ගෙනත් එන්නත් කිරීමට පටන් අරන් තියෙනවා. එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාවයක් හදාගෙන තියෙනවා. අපි හිතනවා සෞඛ්‍ය අංශවලට ප්‍රමුඛතාවයක් දෙන්න අවශ්‍යයි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් විඳිනව කියලා තියෙනවා. ඒක ගැටළුවක් නෙවෙයි. කැමැති කෙනෙකුට විඳගන්න පුළුවන් කම තියෙනවා. ආණ්ඩුව නොමිලේ ගෙනාපු එන්නත් ටික ගෙනෙල්ලා විඳිනවා. ඒකෙන් නතර නොවී අපේ රටේ පුරවැසියන්ගෙන් විශාල ප්‍රමාණයකට මේ එන්නත ඉතා ඉක්මනින් ලබාදීමට පියවර ගතයුතුයි. තාමත් අපිට පේන්න තියෙන්නේ නොමිලේ ලැබුණු එන්නත් ටික පාවිච්චි කරමින් ඉන්නවා මිසක් ලංකාවට අවශ්‍ය ප්‍රමාණයට එන්නත් ගෙනෙල්ලා සියළුම ජනතාවට මේක ලබාදීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවා කියලා තාම පේන්න නැහැ.
ශාන් හුලංනුගේ /මස්කෙළිය- ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක