එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පෙත්සම ලබන 15දා සලකා බැලීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද (08දා) තීරණය කළේය.
සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක ඇතුළු පිරිසක් නම් කොට ඇත.
තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කොට ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු එම තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් කොට ඇත.
මෙම පෙත්සම කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය හමුවේ අද (08දා) කැඳවූ අතර ඒ අවස්ථාවේදී මෙම පෙත්සම ඒකපාර්ශවීයව සලකා බැලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරිය මෙම පෙත්සම සලකා බැලීම ලබන 15 වැනිදාට කල් තැබුවාය.