ඌව පළාත් සභාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දුවී පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක පමණ මුදලක් වංචා සහගත ලෙස ලබාගත් බවට සැකකරන පුද්ගලයෙක් අද(11) අත්අඩංගුවට ගත් බවට බදුල්ල පොලීසිය පවසයි.
මෙම සැකකරු බදුල්ලේ පුද්ගලික ආරක්ෂක අංශයක ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කරමින් පළාත් සභා රියදුරන් දෙදෙනෙකුගේද සහාය ඇතිව මෙම වංචාව සිදුකර ඇති බවටද තොරතුරු අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය .
මෙම වංචාව සඳහා ඌව ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ ලිපිශීර්ෂ සහ නිලධාරින්ගේ තනතුරුවලට අදාළ කූට නිල මුද්‍රාද භාවිතා කර ඇති බව විමර්ශන වලදි අනාවරණය වී තිබේ .
ඌව පළාත් සභාව මගින් පාලනය වන පාසැල්වල මුරකරු , සහ පුස්තකාල සහායක ,කම්කරු ,රසායනාගාර සේවක යන පත්වීම් ලබාදෙන බවට පත්වීම් ලිපිපවා නිකුත් කර තිබූ බවද විමර්ශන වලදි අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය .
මෙසේ මෙම සැකකරුට රැවටී මුදල් ලබාදුන් පුද්ගලයන් තිදෙනෙක් විසින් බදුල්ල පොලීසියට 11 වනදා කළ පැමිණිලි වලට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණ
බදුල්ලේ පදිංචි 41 හැවිරිදි මෙම සැකකරු පුද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙක් ලෙස ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජකාරි කරමින් සිටියදී මෙම වංචාව සිදුකර තිබේ .
බදුල්ල - පාලිත ආරියවංශ