අන්තර් ජාලයට එක් කර මුදල් සෙවීමේ අරමුණින් දහහතර හැවිරිදි තම එකම දියණියගේ නිරුවත් ජායාරූප බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ දැරූ පියෙකු බිරිඳ විසින් කපා කොටා ඝාතනය කරන ලද සිද්ධියක් වැල්ලව පොලීසියෙන් වාර්තාවේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සහායක උපස්ථායකයෙකු ලෙස සේවය කළ වැල්ලව තල්විට බලගහගෙදර පදිංචිව සිටි පී.වී.සුරංග ප්‍රදීප් කුමාර නමැති 37 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ඝාතනයට ලක්ව ඇත. ඊයේ (3) රාත්රියේදී නිවස තුළදීම මෙම ඝාතනය සිදුව ඇති බවද පොලීසිය පවසයි. ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කළ අයෙකි. ඔහු දියණියකගේ සහ අවුරුදු 8 ක පුතෙකුගේ පියෙකි.
සැමියා නිවසේ නාන කාමරය තුළ සිටියදී බිරිඳ ඔහුට මිරිස් කුඩු ගසා ඇති බවද මිරිස් කුඩු ප්‍රහාරයට ගොදුරුවූ සැමියා ඉන් එළියට පැමිණීමේදී බිරිඳ ඔහුව කපා කොටා ඝාතනය කර ඇති බවද වාර්තාවේ. එම පහරදීම හේතුවෙන් ඔහු නිවසේ සාලය තුළදීම මරණයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.
මරණයට පත් පුද්ගලයා මෑතකදී යූටියුබ් නාලිකාවක් ආරම්භ කර ඇති බවද එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ජායාරූප එක් කරමින් සිටි අයෙකු බවද පොලිස් විමර්ශන වලදි අනාවරණයවී තිබේ. ඒ සඳහා ඔහු අවස්ථා කීපයදීම තම එකම දියණියගේද නිරුවත් ජායාරූප ගැනීම සඳහා උත්සාහ දරා ඇතත් දියණියගේ සහ බිරිඳගේ දැඩි විරෝධය මත එම කාර්යය ඉටුකර ගැනීමට ඔහුට හැකියාවක් ලැබී නැත.
මේ හේතුවෙන් මියගිය පුද්ගලයා තම බිරිඳ සමඟ නිරතුරුවම ආරාවුල් ඇතිකරගෙන බිරිඳට පහරදීම් පවා සිදු කර ඇති බවද අනාවරණය වී තිබේ.
ඊයේ රාත්‍රියේ ඔහු බිරිඳ සහ පුතා නිවසින් එළියට දමා දොර වසා දියණිය නිවස තුළ තනිකරගෙන ඇගේ නිරුවත් ජායාරූප ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී බිරිඳ නිවසට ඇතුළුවී කඩුවකින් පහරදී සැමියා ඝාතනය කර දියණිය බේරාගෙන ඇති බවද කියයි.
සැමියා මෙල්ල කිරීම සඳහා ඇය ප්‍රථමයෙන් ඔහුගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බවද කියයි. මිරිස් කුඩු ප්‍රහාරයෙන් අඩපණවූ සැමියාගේ හිසට ගෙලට සහ සිරුරේ තවත් ස්ථාන කීපයකටම ඇය එල්ල කරන ලද මාරාන්තික කඩු පහර කීපයකින් ඔහු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත. ඝාතනය සඳහා යොදාගත් කඩුව ඇයගේ මවගේ නිවසේ සිට රැගෙන ආ එකක් බවද අනාවරණයවී තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මියගිය පුද්ගලයාගේ බිරිඳ වැල්ලව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය වෘත්තීයෙන් ඇඟළුම් කම්හල් සේවිකාවකි. කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව තිබුණි.
ගීතාංජලී ප්‍රියදර්ශනී