යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22000ක් රැගත් දෙවන නෞකාව ඊයේ (13දා) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය.
මෙවර මහ කන්නයේ වී හා බඩඉරිඟු වගාවන් සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනිමට ලෝක බැංකුව විසින් ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් මිලියන 105ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ මෙරටට පැමිණි දෙවන නෞකාව මෙය වේ.
මෙම යුරියා පොහොර රැගත් නෞකාව මැලේසියාවේ සිට පැමිණ තිබේ. එමෙන්ම මෙම නෞකාවේ පොහොර ගොඩ බෑම අද දින සිටම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා පොහොර සමාගමට සහ කොමර්ශල් පොහොර සමාගමට උපදෙස් දුන්නේය.
ඒ අනුව පොහොර ගොඩබෑම අද සිට ම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා පවසයි.
මේ වනවිට ලෝක බැංකු ණය ප්‍රතිපාදන යටතේ මෙවර මහ කන්නය සඳහා ලැබී ඇති යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 35,000කි. පසුගිය යල කන්නයේ දී ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මිල දි ගත් පොහොර මෙට්‍රික් ටොන් 65,000න් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 34,000ක් ඉතිරිව තිබිනි. එම පොහොර ප්‍රමාණයද මේ වනවිට මහ කන්නයේ වී වගාවේ පළමු යුරියා පොහොර මුරය සඳහා සියලුම ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදා හැර තිබේ.
මෙම මස 28 දින තවත් යුරියා පොහොර නැවක් මෙරටට ලඟා වන අතර ලබන මස පළමු සතියේ දී බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නැවක් කොළඹට පැමිණීමට නියමිතය.
එමෙන්ම එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය විසින් දිස්ත්‍රික් 08ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබා දීමට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 700ක් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාර දීම හෙට (15දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරේ.
මෙම මහකන්නයට අවශ්‍ය සම්පුර්ණ පොහොර ප්‍රමාණයම ලැබෙන බැවින් කිසිදූ යුරියා හෝ බණ්ඩි පොහොර හිගයකින් තොරව වී හා බඩඉරිඟු වගාවන් සිදු කිරීමට ගොවි ජනතාවට අවස්ථාව ලැබී ඇති බැවින් කිසිදු බියක් නැතිව වගා කටයුතුඅරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
