හඳුනාගත් රාජකාරියක් නොමැතිව ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ කාර්යාලයට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කාර්යාල සහායකයෙකු පත්කොට වසර 13ක් වෙනුවෙන් රු. 60,639,544 ගෙවීම් කර ඇතැයි හෙළිවිය.
මේ බව හෙළිවූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (20) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
කෙසේ වෙතත් මෙම ගෙවීම් සිදු කොට ඇත්තේ කැබිනට් අනුමතියකින් බව පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන්හ. මේ අනුව මෙම තනතුර 2021 දෙසැම්බර් 31 දින සිට බලාත්මක වන පරිදි 2022 ජනවාරි 25 දින අහෝසි කොට ඇති බවත් මෙහිදී සඳහන් විය. කෙසේවෙතත් මෙම නිලධාරිනිය මෙම තනතුරු අහෝසි කිරීමට විරුද්ධව එරට නීතිය යටතේ නඩුවක් ගොනු කර තිබූ බවත් වන්දි ලෙස යූරෝ 30898.56 ක් ඉල්ලා ඇති බවත් මෙහිදී සඳහන් විය.
මේ අනුව මේ පිළිබඳ වාර්තාවක් සතියක් ඇතුළත කෝපා කමිටුවට ලබාදීමට නිර්දේශ කළේය.