ජාතික නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 480 දෙනෙකු සහ සෙසු නිලයින් 8034 දෙනෙකු වෙත ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කිරීමට යුද හමුදාව කටයුතු කර තිබේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායකජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම උසස්වීම් සිදුකර තිබේ.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2019 අගෝස්තු මස 18 දින යුද්ධ හමුදාධිපති ලෙස පත්වීම් ලැබීමෙන් පසු කෙටි කාලයක් තුළ නිලධාරින් සහ සෙසුනිලයින් විශාල පිරිසකට ඔවුනගේ මීලඟ නිලයට උසස්වීම් ලබාදීම ඉතා සුවිශේෂීත්වයකි.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 07 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට, කර්නල්වරුන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල්වරුන් 36 ක් කර්නල් නිලයට, මේජර්වරුන් 50 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයට, කපිතන්වරුන් 207 දෙනෙක් මේජර් නිලයට, ලුතිතන්වරුන් 94 දෙනෙක් කපිතන් නිලයට සහ දෙවන ලුතිතන්වරුන් 70 දෙනෙක් ලුතිතන් නිලයට යනාදී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරින් 480 දෙනෙකු වෙත එම උසස්වීම් පිරිනැමීම සිදුකරනු ලැබීය.
වසර 73 ක යුද්ධ හමුදා ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස වර්ෂ 2019 අගෝස්තු මස 18 දින සිට මේ දක්වා යුද්ධ හමුදා නිලධාරින් 4341 දෙනෙක් සහ සෙසුනිලයින් 86741 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇත.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා