ජාතික සහ කාලීන වැදගත්කමකින් යුත් තවත් විශාල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වන ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ (16දා) යුද හමුදා හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව ස්ථාපිත කරන ලදී. මෙම කමිටුව තුලින් දිවයින පුරා ඇති වගා නොකල අතහැර දමා ඇති රජයේ ඉඩම් අක්කර 1500 කට අධික ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතු වලට යොදාගනිමින් දිවයිනේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
රජය විසින් මෙම වසරේ ජූලි මස මුලදී මුළු දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කරන කෘෂිකාර්මික ව්‍යාපෘතියට සමගාමීව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ මඟපෙන්වීම මත හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුවේ සමස්ත කළමනාකාරීත්වයේ ප්‍රධානි ලෙස යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය මහතා කටයුතු කරනු ලබයි. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ අධීක්ෂණ කටයුතු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහතා විසින් සිදුකරනු ලබයි.
හමුදාපතිවරයා විසින් මෙම ජාතික ප්රයත්නයේ විෂය පථය පිළිබඳව පැහැදිලි කරමින් ජාතික ඉලක්ක කරා ළඟාවීමට සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමේ අරමුණින් වගා කටයුතු සිදුනොකළ ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගනිමින් අනාගතයේදී ආහාර හිඟයක් ඇතිවීම වළක්වාගැනීම සඳහා යුද හමුදාවට කෘෂිකාර්මික අංශ සමඟ අත්වැල් බැඳගත හැකි ආකාරය පිළිබඳ නව කමිටුව දැනුවත් කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් කෘෂිකාර්මික ක්ෂේත්රයේ විශේෂඥයින්, ගොවිජන නිලධාරීන් සහ යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලයේ කෘෂිකාර්මික ක්ෂේත්රය පිළිබඳ දැනුමින් සමන්විත නිලධාරීන් සමඟ සාකච්ඡා කර දිවයින පුරා සේවයේ නියුතු යුද හමුදා භටපිරිස් විසින් එම රජයේ ඉඩම් එළිපෙහෙලි කිරීම, වගා කිරීම සහ තෝරාගත් බීජ වර්ග වගාකිරීම සඳහා පාත්ති සකස් කිරීම සිදුකිරීමට නියමිතව තිබේ.
ඒ වෙනුවෙන් මේ වනවිටත් යුද හමුදාව විසින් පාලනය කරනු ලබන ගොවිපලවල් 16 ක් සහ ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලඇණි 6 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇත.
