වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කලින් කළ ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වන අයුරින් දැන්වීමක් ලෙස පළකිරීම තම අනුදැනුමකින් තොරව සිදුව ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කර තිබේ.
එම දැන්වීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් මගින් කරුණු පැහැදිලි කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
එසේම මේ පිළිබඳව අදහස් දැක්වූ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ යුද හමුදාපතිවරයාගේ කරුණු පැහිදිලි කිරීම ගැන සෑහීමකට පත්වන බවයි.
එසේම මේ සඳහා අදාළ පක්ෂය (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සම්බන්ධ නොමැති බව පක්ෂය විසින් තමන්ට දැන්වූ බවත් ඔහු පැවැසීය.
මේ පිළිබඳව යුද හමුදා මාධ්‍ය ප්රකාශකවරයාගේ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබුණි.
යුද හමුදාව තුළ කිසිම දේශපාලන මැදිහත්වීමකට අවසර නොමැති බවද යුද හමුදාපතිවරයා දන්වා ඇති බව මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
යුද හමුදාව කිසිම අපේක්ෂකයෙකුට සහායක් නොදක්වන බව යුද හමුදාපතිවරයා දන්වා ඇති බවත් අනෙකුත් මැතිවරණවලදී මෙන්ම මෙම මැතිවරණයේදීත් යුද හමුදාව අපක්ෂපාතීව සහාය දෙනු ඇති බවට විශ්වාස කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.