යාල වනෝද්‍යානයට ඇතුළත් ව අයථා ලෙස වාහන භාවිතා කරමින් වනජීවි හා වෘක්ෂලතා පනත උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ පිරිස සම්බන්ධව ඊයේ දිනයේ දී (25) යාල වනෝද්‍යානය බාරකරු විසින් අදාල පිරිසට අධිකරණමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කළේය.
එමෙන්ම මෙම සිදුවීමේ දී තම රාජකාරිමය වගකීම් පැහැර හැරි හා සිද්ධියට ඝෘජුව හෝ වක්‍රව දායකත්වය ආසන්නවම සපයා ඇති නිලධාරින් 07 දෙනෙකුගේ සේවය විමර්ශන අවසන් වන තෙක් තාවකාලිකව අත්හිටුවීමට වනජීවි අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ඊයේ දිනය තුළ පියවර ගෙන ඇත.
ඉදිරි විමර්ශනවල දී මෙම හත්දෙනාට අමතරව අනිකුත් ඊට සම්බන්ධ තවත් නිලධාරින්ගේ නම් හෙළිදරව් වුවහොත් ඔවුන්ට එරෙහිව ද විනයානුකූලව පියවර ගැනීමට වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබේ.
මේ අතර මෙම සිද්ධියට අදාලව යාල වනෝද්‍යානය ආශ්‍රිතව කටයුතු කළ නිලධාරින් රාජකාරිමය වගකීම පැහැර හැරීම හා ඔවුන් විසින් මෙම සිද්ධිය සම්බන්ධව කිසිදු විටෙක ඉහළ නිලධාරින් දැනුම්වත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධව විමර්ශන කටයුතු මෙහෙයවීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබේ.
අද දින මේ සම්බන්ධව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා කර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට පියවර ගන්නා බව ලේකම්වරිය පැවසුවාය.
එමෙන්ම යාල වනෝද්‍යානය තුළ අනිසි ලෙස හැසිරුනු පුද්ගලයින් අත්අඩංගුවට වැනි කටයුතුවල දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා පොලිස්පතිතුමාට ලිපියක් අද දින (26) චන්ද්‍රා හේරත් මහත්මිය විසින් ලිපියක් යොමු කිරීමට නියමිතය.