වනෝද්‍යානය තුළ පිහිටි වැව්, පොකුණු ,විල්ලු ,හා මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් 75%ක පමණ ප්‍රමාණයක් ජලයෙන් යට වීම නිසා වසා දමා තිබූ යාල ජාතික වනෝද්‍යානය අද (16දා)පෙරවරුවේ යළි විවෘත කෙරිණ.
දින කිහිපයක සිට පැවති වියළි කාලගුණික තත්වය මත උද්‍යාන භූමියේ තිබූ ජලය බැස යාම යාල වනෝද්‍යානයට ඇතුළුවන ප්‍රධාන පිවිසුම් දෙක ඇතුළු සියලු මාර්ග හා යාල උද්‍යානය තුළ පිහිටි සංචාරක නිවාඩු නිකේතන සියල්ල ද යළි සංචාරකයන් සඳහා විවෘත කළ බව යාල උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය .
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු යාල උද්‍යානය වටා කිලෝමීටර් 145 ක ප්‍රමාණයක් ඇතත්, එයින් මේ වන විට 75ක ප්‍රදේශයක සංචාරකයන්ට , සංචාර කිරීමට හැකි අතර යාල මාර්ග පද්ධතිය ගංවතුරට දැඩි ලෙස අබලන් වී ඇති බැවින් සංචාරකයන් රැගෙන එන රියදුරන් දැඩි ආරක්ෂාකාරීව හා පරිස්සමෙන් මාර්ග පරිහරණය කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ගංවතුරට පෙර තිබූ තත්ත්වයට යාල උද්‍යානය පත්කරන්නට මේ වසරම ගතවන බවත්, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ඇතිව යාල ජාතික උද්‍යානයේ කැඩී බිඳී ගිය මාර්ග යථා තත්ත්වයට පත් කරන බවත්, ලබන මාසය තුළ යාල ජාතික වනෝද්‍යානයේ ඇති පටලංගල අභිනවයෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ පහසුකම්වලින් යුක්ත සංචාරක බංගලාව විවෘත කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය .
යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රවේශපත්‍රවල මිල ගණන්ද වැට් සමග සියයට තුනකින් වැඩි වී ඇති බව ඔහු කීවේය . ගංවතුරෙන් හානි සිදුවූයේ යාල යාතික වනෝද්‍යානයේ සංචාරකයන් රැගෙන යන මාර්ගවලට බවත්, වන සතුන්ට හා අනෙකුත් කිසිදු පහසුකමකට හානියක් සිදු නොවන බවත්, වෙනදා මෙන්ම ලබා දෙන සියලුම පහසුකම් උද්‍යානය තුළදී ලබාදෙන බවත්, සංචාරකයන්ට ගමන් කිරීමට පිවිසුම් මාර්ග සියල්ල ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බවත් ඔහු පැවසීය .
කතරගම -ආරියපාල රත්නායක /සෙල්ල කතරගම -අසිත වීරසිංහ