යාපහුව විකල්ප සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනයට අවධානය
යාපහුව පුරාවිද්‍යා භූමිය පූර්ණ පහසුකම් සහිත විකල්ප සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට විශාල සංරක්ෂණ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.
මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහන මෙම මස 16 වැනිදා පෙරවරු 11.00ට යාපහුව පුරාවිද්‍යා භූමියේදී පැවැත්වීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.අද (14) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
යාපහුව පුරාවිද්‍යා භූමිය කාලාන්තරයක් තිස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් යම් ප්‍රමාණයකට ආරක්ෂා කර සංරක්ෂණය කර ඇති බවත් එය තවදුරටත් විධිමත්ව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
යාපහුව පුරාවිද්‍යා භූමිය නැරඹීමට පැමිණෙන ජනතාව සඳහා ප්‍රවේශපත්‍ර කවුළු, රථගාල්, සනීපාරක්ෂක පහසුකම්, තොරතුරු මධ්‍යස්ථාන, වෙළෙඳසැල් සහ නවාතැන් පහසුකම් සහිත හෝටල් පරිශ්‍ර ඇතුළු පහසුකම් ඒකාබද්ධ කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ හරහා යාපහුව ප්‍රදේශය දේශීය සහ විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගත හැකි ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අරමුණ බව ද පැවසීය.
එම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, පුරාවිද්‍යාඥයින්, වාස්තු විද්‍යාඥයින්, මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිත බවද ඔහු පැවසුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
