යාපනය, කයිට්ස් සිට එළුවතිවු සහ අනලතිවු දූපත් සදහා මගී ප්‍රවාහනය වෙනුවෙන් පැවති ගැටලුවට විසඳුමක් වශයෙන් එලුතාරකයි නැමති සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාවක් අද (14) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරිම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය පවසයි.
මගී ප්‍රවාහනයේදී මගීන් වෙනුවෙන් වායුසමීකරණය පහසුකම් සහිතව සුඛෝපභෝගී නෞකාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නිල වශයෙන් පවරා දිමද එම අමාත්‍යාංශය මගින් සිදු විය.
රුපියල් මිලියන 137 ක මුදලක් මෙම මගී ප්‍රවාහන නෞකාව සදහා ආයෝජනය කර ඇති අතර ඩොක්යාඩ් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම මගී නෞකාව තුළ මගීන් 100 කට පහසුවෙන් ගමන් කළ හැකි අතර වායු සමනය කර ඇති නවීන තාක්ෂණික පහසුකම් වලින් යුක්තය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නීරීක්ෂණය යටතේ නව කාර්ය මණ්ඩලයක් පුහුණු කටයුතුවල නිරතව සිටින අතර මෙම මගී ප්‍රවාහන නෞකාව යෙදවීමත් සමග එළුවතිවු දුපතේ ජීවත්වන පවුල් 500කගේ සහ අනලතිවු දූපතේ ජීවත්වන පවුල් 250කගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට ඉවහල් වනු ඇත.
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී.සිවඥානසෝති මහතා, යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.මුරලිතරන් මහතා, කයිට්ස් ප්‍රාදේශීය ලේකම් මංජුලාදේවී සදීසන් මහත්මිය ඇතුළු පිරිසක් එලුතාරකයි මගී ප්‍රවාහන නෞකාව නිල වශයෙන් භාර දීමේ අවස්ථාවට එක්වූ අතර එම පිරිස් එළුවතිවු සහ අනලතිවූ දූපත් වල සංචාරයකද නිරත වූහ.
