නීතියට පටහැනි ආකාරයට අත්තනෝමතික ලෙස තමන් මාස හයක කාලයක් තුළ පොලිස්ථාන තුනකට මාරු කර යැවීමෙන් සහ තමන්ට වඩා කනිෂ්ඨ නිලධාරියකු යටතේ සේවයේ කිරීමට සැලැස්වීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් යාපනය ප්‍රදේශයේ භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21) තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරණ යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණ.
යාපනය ප්‍රදේශය භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජාතික පොලිස් කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.
2019 ජුනි 21 වැනිදා සිට 2020 ජනවාරි මාසය දක්වා කාලය තුළ තමන් පොලිස්ථාන තුනකට මාරු කරන ලදැයිද එය පොලිස් චක්රලේඛණයට පටහැනි බවද සඳහන් කරන පෙත්සම්කරු එක් අවස්ථාවකදී තමන්ට වඩා පහළ නිලධාරීන් යටතේ සේවය කිරීමට තමාට සිදුවූ බවද ඉන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවි ඇති බවද සඳහන් කර ඇත.
එබැවින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන්නැයිද අදාළ ස්ථාන මාරු අවලංගු කරන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරු තමන්ට සුදුසු වන්දියක් ගෙවීමට නියම කරන්නැයිද ඉල්ලා සිටී.
මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා සලකා බැලීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින පෙත්සම කැඳවීමටද නියම කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අන්ජන රත්නසිරි මහතා සමග ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා පෙනී සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.