යළ කන්නයට අවශ්‍ය පොහොර නියමිත කාලයේදීම ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දෙයි.
අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පොහොර කාර්ය සාධක බලකාය රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
විවිධ තාක්ෂණ ක්‍රම යොදා ගනිමින් දේශීයව කාබනික පොහොර වර්ග නිෂ්පාදනය කෙරේ. එබැවින් ඒවා භාවිතය පිළිබඳ ගොවීන් නිසි ලෙස දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ සඳහා පොහොර කාර්ය සාධක බලකායේ නිලධාරීන් යොදාගත යුතු බව අවධාරණය කළේය.
කාබනික පොහොර භාවිතය පිළිබඳ නිසි ලෙස දැනුම්වත් නොකිරීම පසුගිය කන්නයේ දී ඇතැම් ගොවීන් අසාර්ථකවීමට හේතු වී ඇත. මෙවර එම අඩු පාඩු මගහරවා ගනිමින් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් මගින් ගොවි ජනතාව නිසි අයුරින් දැනුම්වත් කළ යුතුය. ඇතැම් නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට සහභාගීවීමට මැලිකමක් දක්වන බව වාර්තා වී තිබේ. අදාළ සියලුදෙනා එම වැඩසටහන්වලට සහභාගී වීම අනිවාර්ය කළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
කුමන හේතුවක් මත හෝ ගොවියාගේ ආදායම අඩු වීමට ඉඩ තැබිය නොහැක. ඒ පිළිබඳ ගොවි ජනතාව තුළ විශ්වාසය තහවුරු කළ යුතුය. කාබනික වගාවන්ට යොමුවීමට ගොවීන් මැලිකමක් දැක්වීම කෙරෙහි විවිධ කාල වකවානුවල ලද අසාර්ථක අත්දැකීම් බලපා ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය .
ගොවීන් වැරදි ප්රචාරයන්ට හසුවීම නිසා ගුණාත්මක බවින් උසස් පොහොර භාවිතයට නොගත් අවස්ථා වාර්තා වේ. වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සමඟ තමන් බැඳී සිටින බව කාබනික පොහොර ව්‍යවසායකයෝ පැවසූහ
පසුගිය මහ කන්නයේ තම ආයතන නිෂ්පාදනය කළ කාබනික පොහොර භාවිතයෙන් ලබාගත් සාර්ථක අස්වැන්න පිළිබඳව පොහොර නිෂ්පාදන සමාගම් නියෝජිතයෝ සංඛ්‍යා ලේඛන සහිතව කරුණු ඉදිරිපත් කළහ. සාර්ථක අවස්ථා බොහෝ තිබිය දී අසාර්ථක අවස්ථා පමණක් මාධ්‍ය මඟින් පෙන්වා දීම නිසා ගොවි ජනතාව අධෛර්යට පත් වූ බව සාකච්ඡාවේදී නිලධාරීහු පෙන්වා දුන්හ.
