දැනට සිදු කර ඇති කාලගුණික පුරෝකථන අනුව එල් නිනෝ හා ලා නිනා දේශගුණික තත්ත්වයන් තුළ මෙවර මහ කන්නයේදී මෙන්ම ඉදිරි යල කන්නයේදීද අනපේක්ෂිත ගැටලුවලට මුහුණ පෑමට සිදුවන බවට පෙනී ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කරයි.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල විශාල වර්ෂාපතනයක් සහ නැවතත් 2024 යල කන්නයේ වැසි රහිත කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බවටද පුරෝකතනය කර ඇති බවයි.
ඉදිරියේ ආහාර හිඟයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා රජය සතුව කිසිදු ආහාර සංචිතයක් නොමැති බවත්, ඒ අනුව වී අලෙවි මණ්ඩලය සතුව පවතිනුයේ මෙම යල කන්නයේ දී මිල දී ගන්නා ලද වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ පහළොස්දහස් හයසිය හැත්තැදෙකක් පමණක් බවත් අමාත්‍යාංශ වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ආහාර සුරක්ෂිතතාව සඳහා අවශ්‍ය ආහාර සංචිත පවත්වා ගැනීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර ඉදිරි පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල සටහනක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී තිබේ.