මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට ලබා දුන් ඉන්ධන අඟුනකොළපැලැස්ස ගොවි ජනතාවට නිකුත් කිරීමේ අවස්ථාව ඊයේ (11) නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අගුනකොළපැලැස්ස ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සඳහා රැස්ව සිටි ගොවි ජනතාව හමු වූ අමාත්‍යවරයා ඔවුන්ගේ වගා කටයුතු පිළිබඳව කරුණු විමසනු ලැබීය.
TSP හෙවත් මඬ පොහොර මෙම කන්නයේ දී රජය විසින් නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබීම සම්බන්ධයෙන් ගොවීහු රජයටත්, අමාත්‍යවරයාටත් සිය කෘතඥතාවය පළ කළේය.
TSP හෙවත් මඬ පොහොර හෙක්ටෙයාර් 01කට කිලෝග්‍රෑම් 55ක් බැගින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබෙන අතර එම නිර්දේශ ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම බන්ඩි පොහොර මිල ඉහළ මට්ටමක තිබෙන බැවින් එම පොහොර මිල ද රුපියල් 10,000 දක්වා අඩු කිරීමට රජයේ අවධානය යොමු කර ඇති බව සඳහන් කළ අමාත්‍ය වරයා මහ කන්නයේ දී රුපියල් 10,000කට ලබා දුන් යුරියා පොහොර මිටියක මිල රුපියල් 7500- 9000ත් අතර මිලක් දක්වා අඩු කර ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව ද කීය.
මීට අමතරව හෙක්ටෙයාර් 01කට රුපියල් 10,000ක් බැගින් ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීමේ කටයුතු යටතේ මේ වනවිට රුපියල් මිලියන 6500ක් බැර කර ඇති බවත්, තවත් රුපියල් මිලියන 1500ක් එම මුදල නොලැබුනු ගොවි ජනතාවට කඩිනමින් ලබා දීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇතී බවද අමාත්‍යවරයා ගොවි ජනතාවට පැවසීය.
මෙම සහන සියල්ල ගොවි ජනතාවට රජය විසින් ලබා දෙනුයේ ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම පහළ දැමීමටත්, ගොවි ජනතාව මෙන්ම පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට යැයි ද හෙතෙම අවධාරණය කළේය.
මෙහිදී අදහස් පළ කළ ගොවි ජනතාව කන්න තුනක් තිස්සේ පොහොර නොමැතිව සිටි ගොවි ජනතාවට රසායනික පොහොර මෙන්ම අවශ්‍ය සහන රැසක් ලබා දීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යතුමාටත්, රජයටත් එමෙන්ම ජනාධිපතිතුමන්ටත් ස්තුතිවන්ත වන බව සඳහන් කළේය.
