වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග යාපනයේ ප්‍රදේශ ගණනාවක නීතිවිරෝධීව වැලි ගොඩදැමීම් සිදුවීම නිසාවෙන් යාපනයේ දහස් ගණනක් ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටින බවට ජනාධිපති අපේක්ෂකයෙකු මෙන්ම උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පැවසුවේය.
යාපනයේ වැලි ගොඩදැමීම් සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් විමසීමේදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මේ අතර වැලි ගොඩදැමීම් සිදුවන යාපනයේ ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.සිවාජිලිංගම් සහ එස්.ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් පිරිසක්ද එක් වූහ.
යාපනයේ මේ වන විට වැලි මාෆියාවක් වී ඇති බවටත් දකුණේ ඇතුළු පළාත් රැසක ටිපර් දහස් ගාණක් යාපනයට පැමිණ රාත්‍රීකාලයේදී සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් ඇතුළු ප්‍රදේශයන්ගෙන් නීතිවිරෝධීව වැලි ගොඩදමා රැගෙන යාම නිසා මේ වන විට මුහුදු ජලය ගොඩ ගැලීමේ අවධානමක් පවතින බවටද සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කියා සිටියේය.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ,
‘වත්මන් ජනාධිපති වැලි ප්‍රවාහනයට විතරයිනේ බලපත්‍ර අවලංගු කරේ. එහෙම නැතිව මේ මිනිස්සුන්ගේ ඉඩම්වල වැලි ගන්න කියල නෙමෙයිනේ වැලි ගන්න එක වෙනයි අරගෙන යන එක වෙනයි. නමුත් මේ ජාවාරම්කරුවන් බලෙන් වගේ ඇවිත් යාපනයේ තියෙන ඉඩම්වලින් වැලි අරන් යනවා වැඩි වශයෙන් රෑ තමයි මේ දේවල් වෙන්නේ. නමුත් රාජ්‍ය නිලධාරීන් , දිසාපති ප්‍රාදේශීය ලේකම්ලා බලන් ඉන්නවා උතුරට ආණ්ඩුකාරවරයෙක් නැහැ, පළාත් සභාවක් නැහැ, මහ ඇමතිවරයෙක් නැහැ සිවිල්පරිපාලනය කඩා වැටිලා.
අලුත් ජනාධිපති යුදහමුදාවට බලය දීලා තියනවා යුද හමුදාව පාරවල් වල පරික්ෂා කිරීම් රෑදවල් සිදු කරනවා. එහෙනම් යුද හමුදාව දමලා හරි මේ වැලි ජාවාරම් නවත්තන්න පුළුවන් නේද කියලයි අපි අහන්නේ යනුවෙනි.