මහනුවර කටුගස්තොට මාර්ගයේ යතුරුපැදි රේස් පැද්ද තරුණයන් දෙදෙනෙකු අනතුරට ලක්ව එක් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව කටුගස්තොට පොලිසිය කියයි.
අකුරණ ප්රදේශයේ පදිංචි 18 හැවිරිදි වියේ සහ 19 හැවිරිදි වියේ තරුණයන් දෙදෙනෙකු සෙනසුරාදා (23) අලුයම 1.30 ට පමණ එසේ කටුගස්තොට මාර්ගයේ අධික වේගයෙන් රේස් පදිමින් සිටියදී ශාන්ත අන්තෝනි බාලිකා විදුහල අසලදී එම යතුරු පැදිය මාර්ගයේ මැද විදුලි පහන් කණු සඳහා යොදා ඇති ආරක්ෂක කොන්ක්රීට් කණුවේ වැදීමෙන් සිදු වූ අනතුරකින් 18 හැවිරිදි තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇතිි බව පොලිසිය කියයි.
පොලිසිය පවසනුයේ කටුගස්තොට මාර්ගයේ මහයියාව බිංගය සහ කටුගස්තොට පාලම අතර කොටසේ අධිබල යතුරුපැදි සහ මෝටර් රථ යොදා ගනිමින් රාත්රී කාලයේ රේස් පැදීම කලක සිට සිදු කෙරෙමින් පවතින බවත් ප්රදේශ වාසීන්ගේ පැමිණිලි මත අවස්ථා කිහිපයකදීම රාත්රී කාලයේ රේස් පදින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීති මාර්ගයෙන් ක්රියාකළ ද එම කටයුත්ත දිගින් දිගටම සිදු කෙරෙමින් පවතින බවයි.
මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් රථවාන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රණවීර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.