මන්නාරම මාන්තෙයි බටහිර අඩම්පන් පොලිස් වසමේ උයිලන්කුලම් ප්රධාන මාර්ගයේදී ඊයේ (21) සවස සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට පොලීසිය පවසයි.
අඩම්පන් සිට උයිලන්කුලම් දෙසට වයස්ගත පුද්ගලයෙකු යතුරුපැදියකින් ගමන්කරන අවස්ථාවේදී උයිලන්කුලම් සිට අඩම්පන් දෙසට තරුණයින් දෙදෙනෙකු සමග ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි අනාවරනය වෙයි.
එහදී තරුණයින් දෙදෙනා අධික වේගයකින් යතුරුපැදිය ධාවනය කිරීම හේතුවෙන් වේගය පාලනය කරගැනීමට නොහැකිව අනෙක් යුතුරුපැදියේ ගැටෙන්නට ඇතැයි පොලීසිය සැකපල කරන අතර අනතුරින් තරුණයින් දෙදෙනා පැමිණි යතුරුපැදියේ පැදිකරු එම ස්ථානයේම මියගොස් ඇත.
පසුව අනෙක් යතුරුපැදියේ ආ වයස්ගත පුද්ගලයා සහ තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා මන්නාරම් රෝහලට ඇතුලත් කිරීමට ප්රදේශවාසීන් පියවර ගෙන තිබුණි.
මිය ගිය අයගේ මළසිරුර මන්නාරම් රෝහලේ තැන්පත් කොට ඇති අතර අපරික්ෂාකාරීව රිය ධාවනය මෙම අනතුරට හේතුව බවට සැකපල කරන්නේ යැයි පිරික්ෂණ සිදුකරන අඩම්පන් පොලීසිය වැඩිදුරටත් පැවසීය.