ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මොනරාගල ඩිපෝවෙන් මාසික ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී රුපියල් හයලක්ෂ හතළිස්හයදහස් අටසිය අනූදෙකක මුදල් වංචාවක් සිදුවී ඇති බවට ඩිපෝ කළමණාකාරවරයා විසින් මොනරාගල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලිකර තිබේ.
ඩිපෝවේ ඩිපෝ පරීක්ෂකවරයෙකු භාරයේ මාසික ප්‍රවේශපත් තිබෙන අතර ඔහු විසින් ප්‍රවේශපත් නිකුත්කරන නිලධාරීන් පස්දෙනෙකුට මාසික ප්‍රවේශපත්‍ර නිකුත්කරන අතර ඔවුන් විසින් ඒවා පාසල් සිසුන්ට සහ වැඩිහිටියන්ට නිකුත්කිරීමෙන් පසුව අදාල මුදල් ඩිපෝවට භාරදෙනු ලබයි.
එසේ ප්‍රවේශපත්‍ර භාරගන්නා 04 වන ශ්‍රේණියේ විධායක මට්ටමේ නිලධාරියෙකු ප්‍රවේශපත් විකුණා ඩිපෝවට භාරදිය යුතු මුදල් ලේඛන වෙනස්කොට මුදල් අඩුවෙන් භාරදී ඇත.
පසුගිය අප්‍රේල් සහ මැයි මාස වලදී රුපියල් තුන්ලක්ෂ විසිදහසක් එලෙස වංචාකර ඇති බවට අනාවරණයවීමෙන් පසු සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණ වලදී දිගටම මෙය සිදුකර ඇති අතර වංචාකර ඇති මුළු මුදල රුපියල් හයලක්ෂ හතළිස්හයදහස් අටසිය අනූදෙකක් බවට අනාවරණයවී ඇත.
මෙම වංචාව පිළිබඳව ලංකා ගමනාගමන මණ්ඩලයේ ඌව පළාත් ප්‍රාදේශීය කාර්යාලය මඟින්ද විමර්ශනයක් සිදුකරගෙන යන අතර ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතුකරන බව ඒ පිළිබඳව සිදුකළ විමසුමකදී දැනගන්නට ලැබිණි.
ඊට අමතරව පොලීසිය මඟින්ද පරීක්ෂණ පවත්වා වංචාවට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවරගැනීමට කටයුතු කරන බැව්
මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විල්ප්ෆ්රඩ් සිල්වා මහතා පැවසීය.
මොණරාගල සුමනසිරි ගුණතිලක