කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
එසේම 2023 දෙසැම්බර් 17 වනදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
"මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් සිදුකරනවා. කුමන බලපෑම් පැමිණිය ද අප විසින් සිදුකරන මෙම මෙහෙයුම් නැවැත්වීමට කිසිදු සූදානමක් නැහැ. මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අපට විවිධ චෝදනා එල්ල වනවා.
මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් උත්සාහ කරනවා. මත්ද්‍රව්‍ය ජාල තුළින් මුදල් ලැබෙන පිරිස් විසින් එම පුද්ගල කණ්ඩායම් සඳහා මුදල් වියදම් කරන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.
දෙසැම්බර් 17 වනදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වනවා. පොලිසිය භාරයට ගත් වාහන සහ ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් මිලියන 725ක් වනවා. ඒ වෙනුවෙන් සිදුකළ වැටලීම් සංඛ්‍යාව 58,562ක් වනවා. එම මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 58, 234ක් වනවා."