වර්තමානයේ තවත් ඇමතිධූර 10ක් පත් කරනවා නම් එය කරන්නේ පොහොට්ටුවේ නායකයින්ගේ බලපෑම් නිසා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වෙනත් විකල්පයක් නැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (03දා) දහවල් පොලොන්නරුවේ දී මාධ්‍ය හමුවක් කැඳවමිනි. "මේ රටේ ඇතිවෙලා තිබෙන ආර්ථික දේශපාලනික හා සාමාජිය අර්බුදයෙන් රට ගොඩගන්න පුලුවන් වෙන්නේ ඇමතිවරුන් 20කින් යුත් සර්ව පාක්ෂික ආණ්ඩුවකින් පමණක් ය කියන අපේ අදහස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ඉදිරිපත් කළ සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එකඟ වුණා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න. මේ සඳහා රැස්වීම් 3ක් පැවැත්තුවා. එක දේශපාලන පක්ෂයක් හැර අනිත් සියලු පක්ෂ ඒකට එකඟ වුණා. නමුත් ආණ්ඩුවේ පොහොට්ටු පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනාවට කැමති වුණේ නැහැ. ඒ අයගේ පක්ෂ නායකයෝ කතා කරලා කිව්වේ ඒ අයගේ බලතල නැතිව යනවා ඇමතිවරුන් ගේ බලය නැතිව යනවා ඒ නිසා බෑ කියලා.
අපි යෝජනා කළේ ඇමතිවරු 20ක්. 20ට වැඩිවෙන්න බෑ ඇමතිවරු. ජාතික සභාව හැදෙන්න ඕන. ජාතික සභාවත් ජනාධිපතිත් අගමැතිත් සාකච්ඡා කරලා දූෂණයෙන් තොර ඇමතිවරු පත් කරන්න ඕන කියලා. ඒ වගේම අපේ යෝජනාවල තිබුණා දූෂිත දේශපාලනඥයින් හෝ දූෂිත නිලධාරින් රජයේ කිසිදු තනතුරකට පත් කරන්න එපා කියලා. ඒ කිසි දෙයක් සිදු වුණේ නෑ.
අන්ත්මට සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතුව පැරණි සම්ප්‍රදායික ආණ්ඩුව තමයි තියෙන්නේ රාජපක්ෂ මහත්වරුන්ගේ ආණ්ඩුවක් අද නැති වුණාට ඉදිරියට ඒ අය නැවත තනතුරුවලටත් එනවා කියලා ආරංචියි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ පොහොට්ටුවට. සමහර විට ඉදිරියේ දී විපක්ෂයට බලය ලැබෙන්න බැරිකමක් නැහැ.
අපි දැනට සියලු පක්ෂ එකතු කරගෙන සන්ධානයක් පුලුල් පෙරමූණක් හදන එකයි දැනට කරගෙන යන්නේ. පොහොට්ටුවෙන් 42ක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණා. අපි ඒ සෑම කෙනෙක් එක්කම පොදු වැඩපිළිවෙලකට යන්න තියෙන්නේ. ආණ්ඩුව වෙනස් කරලා ආණ්ඩුවක් ලබා ගැනීම අපේ බලාපොරොත්තුව. අපට ඊළඟ පාර්ලිමේන්තු ඡන්දයෙනුත් දූෂිතයින් පාර්ලිමේන්තුවට ආවොත් වැඩක් වෙන්නේ නෑ. දේශපාලන පක්ෂ දැන ගන්න ඕන දූෂිතයින් නොවන අයට අපේක්ෂකත්වය දෙන්න. ඒ වගේම ජනතාවගෙනුත් කාරුණිකව ඉල්ලන්න ඕන ඉදිරි මැතිවරණවලදී දූෂිතයින් නොවන අයට ඡන්දය පාවිච්චි කරන්න කියලා.
දැන් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් දීලා තියෙනවා චේන් ෂෝ.ගස් කපන්න. මම ජනාධිපති කාලේ කිසිම ගහකට අත තියන්න බෑ ජනාධිපති අත්සන් කරන්නේ නැතුව. එහෙම නීති ගෙනාවා. මම ඒ චේන් ෂෝ පිටරටින් ගේන එක නැවැත්තුවා.දැන් කරලා තියෙන්නේ පිටරටින් ලී ගේන එක තහනම් කරලා.ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට හරහාම ගස් කපන්න චේන් ෂෝ බෙදනවා.
පරිසරය පිළිබඳව අපි කරපු වැඩසටහන් සියල්ල අහෝසි කරලා .අද ගම්වල පවා බියර් ෂොප් අරක්කු බාර් ඇරෙනවා.සංචාරක මණ්ඩලයෙන් දුන්න ලිකර් පර්මිට් හැර මගේ කාලයේ කිසිම ලිකර් පර්මිට් එකක් දුන්නේ නෑ. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
ඇත්තටම ආණ්ඩුව කරන්නේ පොහොට්ටුව පක්ෂය. අද ඇමතිවරු 10ක් පත් කරනවා නම් පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයගේ වුවමනාවට නෙමෙයි පොහොට්ටුවේ නායකයින්ගේ වුවමනාවටයි. පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ලබන අවුරුද්දේ මාර්තු මාසේ 15 වෙනකල් හැකියාවක් නෑ. මාර්තු 15 න් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට බලය තියෙනවා.
ඊට කලින් ඡන්දයක් තියෙනවා නම් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන යෝජනාවක්.තුනෙන් දෙකක් අවශ්‍ය නැහැ.ඒ යෝජනාව සම්මත වුණොත් ජනාධිපතිවරයාට පුලුවන් පාර්ලිමේන්තුව විසුරුවන්න.නමුත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ කවුරුවත් කැමති නැහැ පාර්ලිමේන්තුව විසුරුවන්න."