මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ මස 10වැනිදා දක්වා කාලය තුළදී රිය අනතුරු 10,000කට අධික ප්‍රමාණයක් සිදුව තිබෙන අතර, මෙම අනතුරුවලින් පුද්ගලයන් 1,202ක් මියගොස් තිබේ.
මෙම අනතුරු 10,000කට අධික ප්‍රමාණය සැලකීමේදී මාරක රිය අනතුරු 1,135ක් සිදුව තිබෙන බවත්, බරපතළ රිය අනතුරු 2,088ක් හා සුළු තුවාල සිදු වූ අනතුරු 4,450ක් සිදු වී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
පසුගිය වසරේදී රිය අනතුරු 21,953ක් සිදුව තිබෙන බවත්, අනතරුවලට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ, රියදුරන්ගේ නොසැලකිමත්භාවය බවත් පවසා සිටි හෙතෙම, මත්පැන් භාවිතයත් රිය අනතුරුවලට හේතුවක් වී තිබෙන බවද පවසා සිටියේය.
පසුගිය කාලයේදී විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරනවාද යන්න දිවයින පුරා පරීක්ෂා කිරීමක් සිදුකළ බවත්, මේ අනුව පුද්ගලයන් 62ක් අත්අඩංගුවට ගත් අතර, මෙම පිරිස් අතර බස්රථ රියදුරන් 19ක් හා යතුරුපැදිකරුන් 24ක් සිටින බවත් නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
මේ අනුව මත්පැන්වලට අමතරව විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරනවාද යන්න සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන පිරිස් හඳුනා ගැනීමට ඊට අදාළ උපකරණ යොදාගන්නා බවත් ඒ මහතා පවසා සිටියේය.
ඉදිරියේදී මාරක රිය අනතුරක් සිදුවුවහොත් අදාළ රථවාහනවල රියදුරන් වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර විෂ මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙනවාද යන්න පරීක්ෂණයකට ලක් කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන පුද්ගලයෙකු රුපියල් 25,000ක දඩ මුදලකට යටත් කිරීමට හා තාවකාලිකව රිය බලපත්‍රය අත්හිටුවීමේ නීති පවතින බවද හෙතෙම පැවසීය.