මේ ජයග්රහණයෙන් පස්සේ අපි හදන්නේ වැඩ කරන ආණ්ඩුවක් - ගෝඨා
වතු කම්කරුවන්ට රුපියල් දහසක අවම වැටුපක් ලබාදී ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන ඒමේ වැඩ පිළිවෙලක් සකස් කරනු ලබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එම පක්ෂය විසින් කොත්මලේ නගරයේ සංවිධානය කොට පැවැති ජනහමුවක් අමතමින් ඊයේ (23) ඒ මහතා මෙසේ පැවසීය.
තවදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා ,
තොණ්ඩමන් ඇමැතිතුමා සමග ඒක්වෙලා වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ දාන්නේ කොහොමද කියලා අපි කතා කලා. අපි ඔවුන්ට රුපියල් දහසක අවම වැටුපක් ලබා දෙනවා. ඒ වගේම ඊට ඒහා ගිය ජීවන තත්ත්වයක් ලබා දෙනවා. ඔවුන්ගේ පවුලේ ආදායම් තත්ත්වය වැඩි කර ගන්න ක්‍රම සකස් කොට දෙනවා. අධ්‍යාපනය දියුණු කරලා ඔවුන්ගේ දරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාවන් සලසා දී ඔවුන් ආර්ථිකයට සෘජුවම සම්බන්ධවීමේ රැකියාවන් ලබා දීමට පියවර ගන්නවා.
අපිට අවශ්‍ය හැමදාමත් දුප්පත් ගොවියෙක් නෙවෙයි. ව්‍යවසායකයෙක් වු ගොවියෙක් බවට පත් කිරීමයි අපේ බලාපොරොත්තුව . මේවා ප්‍රායෝගික වැඩ. මේවා කරන්න පුළුවන් වැඩ. මේ රජය යටතේ වැවිලි කර්මාන්තය කඩා වැටිලයි තියෙන්නේ. තේ කර්මාන්තය විශාල කාලයක සිට විදේශ විනිමය ගෙනෙන කර්මාන්තයක්. විශාල ප්‍රමාණයේ රැකියා සපයපු කර්මාන්තයක්. ඒම කර්මාන්තය මේ රජයේ අදුරදර්ශි වැඩ නිසා අසීරු තත්ත්වයකට පත්වෙලයි තියෙන්නේ .
අපි මේ රටට නැවත කසළ තේ ගෙනෙන්නට ඉඩ දෙන්නේ නැහැ. රජයේ මැදිහත්වීම තුළ ලෝකයේ ශ්‍රී ලංකා තේ වලට තිබෙන නියම මිල අපි ලබා දෙනවා. ඒදා ශ්‍රී ලංකාවේ තේ ඉහළ තත්ත්වයක පැවැතුණත් අද තියෙන්නේ හතරවන තැනයි. මෙයට රජය වගකියන්න ඕන . අපි රාජ්‍ය අනුග්‍රහය දක්වලා නැවැතත් අපේ ලංකාවේ තේ වලට සුදුසු තැන ලබා දීමට පියවර ගන්නවා.
අධ්‍යාපනයේ වැරැද්ද නිසා අද අසරණ වෙලා ඉන්න තරුණ තරුණියන් වෙනුවෙන් ඔවුන්ට නිපුණත්වයක් ලබා දෙන්නට, ආර්ථිකයට සෘජූවම සම්බන්ධවන හොඳ වැටුපක් සමග රැකියාවක් ලබා ගන්න පුළුවන් වන ආකාරයෙන් ඔවුන්ට වෘත්තීය පුහුණුවක්, ඒ වගේම තාක්ෂණ පුහුණුවක්, ඒ වගේම උසස් අධ්‍යාපනයක් ලබා දීමට අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කරනවා.
අපි මේ ජයග්රහණයෙන් පසුව තමුන්නාස්සේලාට වැඩ කරන ආණ්ඩුවක් හදනවා. ඒ වගේම විනිවිදභාවයෙන් යුතු ප්‍රතිපල ගෙනෙන ආණ්ඩුවක් හදනවා. අපි මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරලා විශාල සංවර්ධනයක් සිදු කලා. කාර්ය්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරලා වැඩ කරන්න පුළුවන් නිලධාරීන් පත් කරලා ඔවුන්ට තීරණ ගන්න අවස්ථාව අප ලබා දුන්නා.
නමුත් මේ රජය රාජ්‍ය සේවකයා ගැන කිසිම තැකීමක් කළේ නැහැ. රාජ්‍ය සේවකයාගේ අභිමානය කඩා දැම්මා. දහස් ගණන් රාජ්‍ය සේවකයන් අභූත චෝදනා නගලා එෆ්. සී.අයි.ඩී එකට ගෙන ගියා. එදා වැඩ කරපු රාජ්‍ය නිලධාරීන් සමහර අය හිරේට දැම්මා. අපේ රජයක් තුළ රාජ්‍ය සේවය කාර්ය්යක්ෂම කරනවා. වැඩ කරන්න හැකි නිලධාරීන් පත් කරනවා. ඒ අයට තීන්දු තීරණ නොබියව ගන්න හැකි පරිදි ඔවුන්ව අපි නීතියෙන් ආරක්ෂා කරනවා යයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
ශාන් හුලංනුගේ

popular news
-
සොයිදා Thursday, 24 October 2019 05:48 PM
කසල තේ රටින් ගෙනෙන නිසා වෙන්න ඇති 2015 දී රුපියල් තිහට තිබුන අමුදළු කිලෝවකට රුපියල් අසූවක් හෝ මාස කීපයක් රුපියල් සියයක් ඉක්මවාත් මුදලක් ලැබුනේ.2015 දී රාජ්‍ය සේවකයින්ට ලැබුන වැටුප සියයට සියයකටත් වඩා වැඩිවීමෙන් රාජ්‍ය සේවකයාගේ අභිමානයත් නැතිවුනා ඒකද කියන්නේ.2006 දි වැටුප් වැඩිකිරීමේදී 1994 ට පෙර පත්වීම් ලැබූවන්ට අසාධාරණ වන ලෙසට වැටුප් ක්‍රම සකසා අභිමානය නැතිකලේත් මෙවුන්ම වෙන්න ඇතිනේද. ඔබලාගේ කාලේ උසස් තනතුරු වලට පත්කලේ කොහොමද අපි නොකිව්වත් මකත ඇතිනේද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

