ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළ සියයට 50 දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාතිපතිවරයා හමුවේ අද (25දා) පැවසීය.
මේ වන විට ඖෂධ නිෂ්පාදනය සියයට 15- 20 ක පමණ තත්වයක පවතිනේ යැයි ද රටට අවශ්‍ය ඖෂධ සැපයුම ප්රමුඛ අවධානයට යොමු කරමින් මෙරට ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය.
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හෝල්ගර් සීබර්ට් (Holger Seubert) මහතා අද (25දා) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවු අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහය අයෝජකයින්, නිෂ්පාදකයින්, කර්මාන්තකරුවන් ඇතුළු සියල්ලන් වෙත ලබා දෙන බවද, එමෙන්ම එවැනි ව්‍යාපෘතියක් සදහා මේ වන විට ගිවිසුම් අත්සන් කර ඔවුන්ගේ නිෂ්පාදන පසු මිලදී ගැනීම සදහා වන ගිවිසුම්ද අත්සන් තබා ඇතැයි අමාත්‍යවරයා කීය.
ඒ සදහා උපකරණ ගෙන්වීමේ දී බදු සහන වලින් නිදහස් කිරීම ඇතුළු සහන රැසක් ලබා දෙන බවත් නව ව්‍යාපෘතිය සදහා ආයෝජකයන් 12 දෙනෙකු කර්මාන්තශාලා වෙනුවෙන් ආයෝජනය කර ඇති බවත් ඒ මහතා පැවසීය. මේ වන විට මෙරට තුළ වැඩි වශයෙන් සේලයින් නිපදවීම සිදු කරන බවද ඉදිරියේ දී ඖෂධ හා උපකරණ රැසක් නිෂ්පාදනය කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙරටට ඖෂධ සපයන රටවල් සමග අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා ඖෂධ සැපයීමේ ප්රමුඛ රටක් වන ජර්මනිය ද ඇතුළත් වන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.
