ජාතික විදුලිබල පද්ධතියට විදුලි මෙගාවොට් 5ක ධාරිතාවයක් එකතු කරන නව සූර්ය විදුලි බලාගාරයක් අද දින පෙරවරු 10.00ට යෙදුණු සුභ මොහොතින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් විවෘත කරන ලදී.
කුරුණෑගල හිරිපිටිය ප්‍රදේශයේ අක්කර 20ක භූමි භාගයක් පුරා විහිදුනු මෙම සූර්ය බලාගාරය පෑන් ඒෂියන් පවර් පුද්ගලික සමාගමේ අනු සමගමක් වන PAP MPHL Solar Pvt. Ltd මගින් ක්‍රියාත්මක කෙරෙන අතර මෙම බලාගාරයේ නිල ආරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ
“බලශක්ති ක්ෂේත්රයේ රාජ්‍ය හිමිකාරීත්වය සුරකින අතරම විශේෂයෙන් විදුලි ජනනයේදී පුද්ගලික අංශයේ ආයෝජන පිළිගනිමින් හා දිරිමත් කරමින් කටයුතු කිරීම අපේ රජයේ වැඩපිළිවෙලයි. විශේෂයෙන්ම දේශීය ආයෝජකයන් හා සමාගම් අපේ රටට ආශිර්වාදයක් ලෙස හැඳින්විය හැකි සූර්ය විදුලිබල ක්ෂේත්‍ර යේ ආයෝජනය කිරීම ඉතාම ඉහළින් අගය කරන බවයි.
භූමිය මත සවිකළ සූර්යපැනල පද්ධති ක්‍රමවේදය භාවිත කෙරෙන මෙම සූර්ය බලාගාරයෙන් වසරකට ගිගාවොට් පැය 10ක විදුලි නිෂ්පාදනයක් සිදු කෙරෙන අතර, ඒ අනුව වසරකට ඩීසල් ලීටර් මිලියන 3.3ක් සදහා වසරකට වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 3.3ක හෙවත් රුපියල් බිලියනයක පමණ විදේශීය විනිමය ඉතිරිකර ගැනීමට හැකි වේ යැයි අපේක්ෂිතය.
මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, සුනිත්‍ය බල අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර, පෑන් ඒෂියන් පවර් පුද්ගලික සමාගමේ සභාපති ලක්ෂ්මන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී පී.කේ. පත්මනාත, ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.





