ශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව්, නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් බෝයාවක් ආධාරයෙන් මුහුදු පතුලේ සඟවා තිබූ වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 04ක් සමඟ තවත් පුපුරණද්‍රව්‍ය ආම්පන්න කිහිපයක් ඊයේ (26දා) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ධීවරයින් ඉතා සුළු පිරිසක් විසින් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසරයට සිදුවන හානිය වැළැක්වීම සඳහා දිවයින වටා වෙරළ කළාපය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය මඟින් ඊයේ (26දා) මුලතිව්, නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, බෝයාවක් ආධාරයෙන් මුහුදු පතුලේ ජලය කාන්දු නොවන ලෙස සූක්ෂමව සඟවා තිබූ වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 04ක්, විදුලි නොවන ඩෙටනේටර් 02ක් සහ අගල් 06ක දිගින් යුත් වෙඩිනූලක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදී.
පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම පුපුරණ ද්‍රව්‍ය මෙලෙස මුහුදු පතුලේ සඟවා තබන්නට ඇතැයි විශ්වාස කරන අතර, එම පුපුරණද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිවු සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදී.
