පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මුහුදු මට්ටමේ සිට අඩි 5000ක් ඉහළින් ඇති ගස් කපා දැමීම රජය විසින් තහනම් කර ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
හය වැනි ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුව හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වැනි සැසිවාරය අමතමින් අද (16දා) ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
එසේම සෑම පාසල් සිසුවෙකුම පැළයක් සිටුවීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවත් ඒ වෙනුවෙන් සිසුන්ට මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.
“ශතවර්ෂ කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 50% වැඩි ප්‍රමාණයක් වනාන්තරවලින් ආවරණය වී තිබුණා. වර්තමානයේ දිවයිනේ සම්පූර්ණ වන ආවරණය වන්නේ අනෙක් ආකාරයේ වෘක්ෂලතාදිය හැර 29.7% ක් පමණයි.
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප්රමුඛ පියවරක් වශයෙන්, දැනට පවත්නා වන ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහාත්, එය 32% දක්වා වර්ධනය කර ගැනීම සඳහාත් වඩා සුදුසු පියවරක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.
අපනයන කෘෂිකර්ම කටයුතු සඳහා මෙන්ම විශාල වශයෙන් සිදුවන කෘෂිකාර්මික කටයුතු හා ජනාවාස ඉදිකිරීම ආදී ක්‍රියාවන්ට ඉඩම් භාවිතය හේතුවෙන් මගේ රටේ වන ආවරණයෙන් 50% කට වැඩි ප්‍රමාණයක් අහිමි වූවා.
වනාන්තර විනාශය දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැඩි පාරිසරික උවදුරු ඇතිවීමට හේතු වී තිබේ. එම විනාශයන් වර්ෂාපතන රටාව වෙනස් කිරීමට, පාංශූ ඛාදනයට සහ කෘෂිකාර්මික නිෂ්පාදන විනාශ කිරීමට ද බලපා තිපබෙනවා.
වනාන්තර විසින් විශාල සමාජ, ආර්ථික ප්‍රයෝජන රැසක් එනම් ආහාර, බලශක්ති, වාසස්ථාන ඇතුළු මූලික මානුෂිය අවශ්‍යතාවන් ලබා දෙයි. මෙම අවශ්‍යතාවන් සහ අනෙකුත් අවශ්‍යතාවන් සපුරාලන වනාන්නර තිරසර ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත්ය.
වනාන්නර ප්රතිරෝපණය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක්. අනෙකුත් සියලූම රාජ්‍ය අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සහ සමුපකාර සංගම් ඒකාබද්ධව 2020 වන විට පැළ මිලියන 5ක් වගා කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
දැනට ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් හතළිස් තුන් ලක්ෂයක් පමණ සිටින අතර, සෑම පාසල් සිසුවෙකු විසින්ම එක් පැළයක් බැගින් වගා කිරීම දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් හැකි සෑම ප්‍රදේශයකම දියත් කර තිබෙනවා.
පාසලේ, ගෙවත්තේ හෝ හැකි ඕනෑම ස්ථානයක එම වගාව සිදු කළ හැකි අතර, ඒ වෙනුවෙන් සිසුන්ට යම් මූල්‍ය ආධාරයක් ලබාදීමට රජය කටයුතු කරන අතර, සෑම සිසුවෙකුගේම නමින් එම මුදල බැර කරනු ලැබේ. මෙසේ සිසුන් වගාව සඳහා දිරිමත් කිරීමෙන් ඔවුන්ගේ පවුලට අතිරේක ආදායමක් ලැබෙනවා සේම පරිසරය සුරැකීමේ වගකීම පිළිබඳව ද ඔවුන්ට අවබෝධයක් ලැබෙනු ඇති.
පරිසරය හා ජල පද්ධති ආරක්ෂා කිරීමට මුහුදු මට්ටමින් අඩි 5000 කට ඉහළින් පිහිටා ඇති ගස් කපා පහළට හෙළීම රජය විසින් තහනම් කර තිබේ. මහා පරිමාණ හා මධ්‍යම පරිමාණ ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවීමට පෙර පාරිසරික බලපෑම් ඇගයුම් සිදු කිරීම අනිවාර්යයි.”

