මුහුණු පොත හරහා ගැහැණු ළමයෙකු ලෙස පෙනී සිටිමින් කතාබහ කොට 14 හැවිරිදි පිරිමි දරුවෙකු ගම්පහ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.
අතවරයට ලක් වූ පිරිමි ළමයා රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයෙකු වන බවත් මොහුට ගැහැණු ළමයෙකු ලෙස පෙනී සිට ඇති පුද්ගලයා මුහුණු පොත හරහා කතා බහ කොට පසුව ගම්පහට ගෙන්වා ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතවරයට පත් ළමයාගේ පියා විසින් ගම්පහ පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම ළමයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පියවර ගෙන ඇති අතර ඔහු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ධර්මසූරිය මහතාගේ මෙහෙයවීම මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂක හරන්කහදෙනිය මහත්මිය යටතේ වැඩි දුර විමර්ශන සිදු කෙරේ.
තිලකරත්න දිසානායක