කෝවිඩ් සමයේ මළ සිරුරු ආදාහනය කිරීමට සිදුවීම පිළිබඳ මුස්ලිම් ප්‍රජාවගෙන් විධිමත්ව සමාව ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ රජය තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බවයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
&මෙම ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ කොරෝනා වින්දිතයන් භූමදානය කිරීමෙන් ජල සැපයුම් දූෂිත විය හැකි බවට පවසමින්.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් කරන ලද නව විද්‍යාත්මක සොයාගැනීම් මගින් පසුගිය රජයේ ස්ථාවරය දැන් අභියෝගයට ලක්කර ප්‍රතික්ෂේප කර තියෙනවා. එය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යස්ථානයක්. මේ පිළිබදව පර්යේෂණ කරන ලෙස ඇමැති ධුරය බාරගත් පසු මා උපදෙස් ලබා දුන්නා.
2021 අගෝස්තු සහ දෙසැම්බර් අතර සිදු කරන ලද මෙම පර්යේෂණයෙහි ප්‍රධාන අරමුණ වුණේ ජලය හරහා වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම තක්සේරු කිරීමයි. ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද විස්තීරණ සමාලෝචන අධ්‍යයනයක් මගින් කොරෝනා-ආසාදිත සිරුරු භූගත ජලය අපවිත්‍ර වීම කෙරෙහි ඇති කරන බලපෑම විශ්ලේෂණය කළා.
මෙම වසරේ ප්‍රකාශයට පත් කරන ලද මෙම සමාලෝචනයෙන් නිගමනය කළේ වසංගතය අතරතුර නිසි ලෙස සිදු කරන ලද භූමදානයන්ගෙන් භූගත ජලය දූෂණය වීමේ අවදානමක් නොමැති බවයි. මුද්‍රා තැබූ සිරුරු බෑග්වල ගැඹුරින් භූමදාන කිරීම ඇතුළුව නිසි මිහිදන් කිරීමේ ක්‍රියා පටිපාටි මගින් පරිසරය දූෂණය වීමේ ඕනෑම අවදානමක් ඵලදායී ලෙස අවම කර ගත හැකි බව අධ්‍යයනයෙන් අවධාරණය කර තිබෙනවා.මේ පරීක්ෂණ වාර්තා අනුව එකල රජය ගෙන තිබූ ප්‍රතිපත්ති ගැන අපට කනස්සල්ලක් තියෙනවා. ඒ නිසා බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් මුස්ලිම් ප්‍රජාවට සිදු වූ හානිය සම්බන්ධයෙන් විධිමත් සමාව අයැදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා*