තණමල්විල පොලිස් වසමට අයත් සූරියආර ප්‍රදේශයේ විදුලිරැහැනක පැටළුණු මුවෙකු මුදවාගැනීමට ගිය එක්දරු පියෙකු ඉකුත් (09) වෙනිදා අළුයම මියගොස් ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සූරියආර රෝහණපුර පදිංචි ඩබ්.ආර් ලහිරු සම්පත් (28) නැමති අයෙකි. මියගිය අය නිවසේ සිටින විට මුවෙකු කෑගසන ශබ්දයක් ඇසී අසල්වැසියෙකු සමඟ විදුලිපන්දමක්ද රැගෙන ඒදෙසට ගොස් ඇත.
එසේ යනවිට මුවාගේ ශබ්දය නතරවී ඇත. විදුලිපන්දමේ ආලෝකයෙන් ඔහු බිම වැටී සිටි මුවා ලඟට යනවිට ඔහුටද එකවරම විදුලිසැර වැදී සිද්ධියවූ ස්ථානයේදීම මියගොස් ඇත.
කිසියම් අයෙකු වනසතුන් දඩයම්කිරීම සඳහා ඒ අසලින් නිවෙස් වලට විදුලිය ලබාදෙන තෙකලා විදුලි රැහැනකින් අනවසරයෙන් විදුලිය ලබාගෙන නිතර වනසතුන් ගැවසෙන ස්ථානයේ මෙම විදුලි රැහැන් ඇද ඇති බැව් මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
මියගිය අයගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඇඹිලිපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රවිඳු දසනායක මහතා විසින් පවත්වන ලද අතර තණමල්විල පොලීසියේ පොලිස් සැරයන් 42776 සුජීව මහතා පරීක්ෂණ මෙහෙයවීය.
මොණරාගල සුමනසිරි ගුණතිලක