මුල් මාස පහ තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 7.3
මෙම වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය ඇමෙරිකානු ඩොලර් මිලියන 7,300 ඉක්මවූ ආදායමක් වාර්තා කර ඇති බවත් එහි ප්‍රධාන දායකත්වය ඇඟලුම්, පොල් ආශ්රිත නිෂ්පාදන සහ රබර් කර්මාන්තය මඟින් ලබාදී ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.
සභාපතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති "අපනයන ප්‍රගතිය හා ඉදිරි ඉලක්ක" පිළිබඳ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් සියයට 30% සිට 32% දක්වා ප්‍රමාණයක් ඇඟලුම් කර්මාන්තය නියෝජනය කරන බව සභාපතිවරයා සඳහන් කළ අතර 2026 වසරේ මුල් මාස පහ තුළ පමණක් ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2,063ක ආදායමක් උපයා ඇති බවත් එම කර්මාන්තය ශ්‍රී ලංකාවේ විශාල පිරිසකට රැකියා අවස්ථා සලසන ප්‍රධාන ක්ෂේත්රයක් බවත් පැවස්වේය.
එමෙන්ම, ඉදිරි වසර පහ තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 8කට අධික අපනයන ආදායමක් උපයා ගැනීම එහි ප්‍රධාන ඉලක්කය බවද හෙතෙම පැවසීය.
පොල් ආශ්රිත නිෂ්පාදන ද ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන ක්ෂේත්රයක් බවත් පොල් තෙල්, පොල් කිරි ඇතුළු වටිනාකම් එකතු කළ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය වසරේදී රබර් හා රබර් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක ආදායමක් ලැබූ බව පෙන්වා දුන් සභාපතිවරයා , මෙම වසරේ මුල් මාස පහ තුළ එම ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 404ක් දක්වා වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ අනුරූප කාලයට සාපේක්ෂව සියයට 5ක වර්ධනයක් බවද පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
