මුල් ආකෘතිය වෙස් කර සංචාරයක් සදහා තරුණ පිරිසක් පැමිණි ත්රීරෝද රථ 10ක රියදුරන් (08) දින අත්අඩංගුවට ගෙන රියදුරන්ට ඇප ලබා දි ත්රීරෝද රථ 10 පොලිස් භාරයට ගත් බව කොත්මලේ පූඩළුඔය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක සුගත් විජේසුන්දර මහතා පැවසිය.
ගම්පොළ ප්රදේශයේ පදිංචි තරුණයන් පිරිසක් (08) දින අදාළ ත්රීරෝද රථවලින් පූඩළුඔය පාළුවත්ත ප්රදේශයේ සංචාරයක් සදහා පැමිණෙන අවස්ථාවේ පූඩළුඔය ගම්පොළ ප්රධාන මාර්ගයේ දි එක් ත්රීරෝද රථයක් මගියෙකු අනතුරට පත් කර බරපතල තුවාල සිදු කර පලා යෑම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එම ත්රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට සිදු කල මෙහෙයුමකදී ත්රීරෝද රථ 10ම අත්අඩංගුවට ගැනිමට හැකි වූ බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අනතුරට පත් කල ත්රීරෝද රථයේ රියදුරාට නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප ලබා දී ඇති අතර, අනෙකුත් ත්රීරෝද රථ රියදුරන්ට පොලිසිය මගින් ඇප ලබා දුන් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
පොලිස් භාරට ගැනුන ත්රීරෝද රථ 10 නුවරඑලිය දිස්ත්රික් මෝටර් රථ පරික්ෂක ජානක බණ්ඩාර මහතාගේ පරික්ෂණයට යොමු කල බවත්, එහිදි මෝටර් රථ පරික්ෂකවරයාගේ නිගමනය පරිදි අන්තරාදායක ලෙස අමතර කොටස් සවි කිරීම, අමතර විදුලි පහන් සවි කිරිම, විවිධ අයුරින් ස්ටිකර් ඇළවීම යන චෝදනා යටතේ එම ත්රීරෝද රථවල රියදුරන්ට එරෙහිව නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි පූඩළුඔය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක සුගත් විජේසුන්දර මහතා කියා සිටියේ.