2006 අංක 12 දරන මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ ක්‍රියාත්මක මුද්දර බදු පනතේ 3 වන වගන්තිය මගින් මුද්දර ගාස්තු ඉහළ දැමීම සඳහා ප්‍රකාශයට පත්කළ නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
2025 අප්‍රේල් 01 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අය වැයේදී යෝජනා වූ ආකාරයට මෙලස මුද්දර ගාස්තු ඉහළ දැමීම සඳහා යෝජනා කර ඇති බව මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව ඕනෑම දේපලක කල් බද්ද මත මුද්දර බද්ද අය කරනු ලබන අතර 2025 අය වැය මගින් පෙර පැවති අනුපාතය සෑම රුපියල් 1,000ක් සඳහා අය කල රු.10ක මුදල, රුපියල් 20 දක්වා මෙමගින් ඉහළ දමන බව නිලධාරීහු වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසුහ. තවද මෙම සංශෝධනය මගින් දළ දේශීය නිෂ්පදනයෙන් 0.01%ක අතිරේක අදායමක් බලාපොරොත්තු වන බවද එම නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
තවද 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ ඉදිරිපත්කළ රෙගුලාසි දෙකක් සඳහාද කාරක සභාවේ අනුමතිය හිමිවිය.
ඒ අනුව මේ යටතේ 2020 සිට ආනයන සීමා කිරීම්වලට යටත්වූ භාණ්ඩ කිහිපයක සීමා ඉවත්කිරීම සඳහා කාරක සභාවේ අනුමතියට ඉදිරිපත් කර තිබුණි.
මේ අනුව භාවිත කරන ලද රෙදි පිළි (උණුසුම් රෙදි - warm cloth) අදියර වශයෙන් ආනයනය කිරීමටත්, මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සහ අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය වන වාහන අමතර කොටස් ආනයනය කිරීමට හා 2010 අංක 14 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ බලපත්‍ර ලබා ගත් කැසිනෝ ශාලාවලට අවශ්‍ය ක්‍රීඩා උපකරණ හා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබාගැනීම සඳහා යෝජනා කර තිබුණි.
මෙහිදී කැසිනෝ උපකරණ මෙරටට ආනයනය කිරීමේදී එම උපකරණ මොනවාද යන්න සහ ඒ ආශ්රිත සියලු දත්ත හා තොරතුරු ශ්‍රී ලංකා රේගුව සතුව පවත්වා ගන්නා ලෙස කාරක සභාව උපදෙස් ලබාදෙන ලදී
තවද මෙදින කාරක සභාවේදී සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳව පසුබිම පිළිබඳවද මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ. මෙහිදී කාරක සභා සභාපතිවරයා අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරගැනීම මගින් රජයට අහිමිව යන විශාල බදු මුදල් ප්‍රමාණයක් අයකර ගැනීමට ලැබෙන බව පැවසුවේය.