බදුල්ල සිට පානදුර බලා ගමන් ගත් බස් රථයක නැගී ගමන් ගනිමින් සිටි තරුණියක සතුව තිබූ මුදල් පසුම්බියක් සොරකම් කිරීමට තැත්කළ යුධ හමුදා සෙබලෙකු ඊයේ (24) සවස එම බස් රියේම ගමන්ගත් මගීන් පිරිසක් එක්ව අල්ලා පොලීසියට බාරදීමට කටයුතු කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුරුම්ගමුව, කැප්පෙටිපොල , වැලිමඩ පදිංචි දියතලාව 09 වන ගැමුණු හේවා බලඇණියට අනුයුක්තව සේවයේ නිරත අවුරුදු 45ක් වයසැති සැරයන්වරයෙකි.
බස් රථයේ ගමන් ගනිමින් සිටි සැකකරු එක්වරම තරුණිය අත තිබූ මුදල් පසුම්බිය උදුරා ගැනීමට තැත් කිරීමේදී ඒ දුටු බස් රථයේ මගී පිරිසක් එක්ව ඔහු අල්ලා ගැනීමට සමත් වී ඇත. පසුව ඔවුන් සැකකරු බණ්ඩාරවෙල පොලිසිය වෙත භාරදී ඇත. සැකකරු අද (25) උදෑසන බණ්ඩාරවල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි
එන්.කේ. නිශ්ශංක