ශ්‍රී ලංකාවේ මුඛ සහ හනු ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ (College of Oral and Maxillofacial Surgeons of Sri Lanka) 20 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය - 2025, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක් හෝටලයේ දී පසුගියදා පැවැති අතර එහිදී මෙම කරුණූ අනාවරණය විය.
මෙහිදී මුඛ පිළිකාව ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටළුවක් බව අවධාරණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම පිරිමින් අතර මුඛ පිළිකාව තවමත් බරපතලම සහ නොනවතින සෞඛ්‍ය අභියෝගයක් ලෙස පවතින බව ද බොහෝ විට දුම්කොළ, පුවක් සමඟ මිශ්‍ර කරන ලද බුලත් විට සහ මත්පැන් බහුලව භාවිතා කිරීම, පිළිකා අවදානම සැලකිය යුතු ලෙස වැඩි කිරීමට හේතු සාධක වී ඇති බව ද අවධාරණය කරන ලදි.
“රැකවරණයෙන් ඔබ්බට, මුඛ සහ හනු සැත්කම් (OMF) වල විශිෂ්ටත්වය කරා” යන්න තේමා කර ගනිමින් මෙවර සැසිවාරය පවත්වන ලදි.
මුඛ සහ හනු මුහුණේ සැත්කම් (Oral and Maxillofacial Surgeons - OMS) දන්ත වෛද්‍ය විද්‍යාවේ ප්‍රධාන අංශයක් වේ. මුඛයට සහ මුහුණේ හනු ප්‍රදේශයට බලපාන රෝග සඳහා ශල්‍ය ප්‍රතිකාර කෙරෙහි මෙහි දී අවධානය යොමු කෙරේ. සෞඛ්‍ය සේවාවේ ශල්‍යකර්ම ක්ෂේත්රය තුළ මුඛ සහ හනුක ශල්‍ය වෛද්‍යවරුන් විශිෂ්ට කාර්යභාරයක් සිදු කරනු ලබයි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මුඛ සහ මුහුණේ හනු ආශ්රිත සැත්කම් වෛද්‍ය විද්‍යාව, දන්ත වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යකර්ම යන අංශයන් හි ප්රමුඛ සහ අද්විතීය ක්ෂේත්රයක් බවට පත් වී ඇති බවත්, මුඛ සහ හනුක ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ විසි වසරක අධ්‍යයන සැසි තුළින් සංගමයේ නොසැලෙන කැපවීම, වෘත්තීය එකමුතුකම සහ සාර්ථක ශල්‍යකර්ම සිදු කිරීමේ විශිෂ්ටත්වය සඳහා වූ දැඩි කැපවීම පිළිබිඹු කරන බව ද පෙන්වා දෙන ලදි.
මුඛ සහ හනුක ශල්‍ය වෛද්‍යවරුන් මුඛ පිළිකා ශල්‍ය කළමණාකරනය, කම්පනය නිසා මුහුණේ ඇතිවන තුවාල වලට ප්‍රතිකාර කිරීම, තොල් පැලීම සහ තල්ල වැනි සංජානනීය විකෘතිතා නිවැරදි කිරීම, හකු ව්‍යාධි ආසාදන සහ පිළිකා කළමණාකරනය, දියුණු ක්ෂුද්‍ර වාහිනී ශිල්පීය ක්‍රම භාවිතා කරමින් ප්‍රතිනිර්මාණය කිරීමේ සැත්කම් විශේෂඥතාව පුළුල් පරාසයක සංකීර්ණ ක්‍රියා පටිපාටියක් ආවරණය කරන බව ද රෝගී ජනතාවට නැවත ආහාර ගැනීමට, කතා කිරීමට, හුස්ම ගැනීමට සහ සිනාසීමට උපකාර කරමින් ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට මහඟු සේවාවක් සිදු කරන බව ද වැඩිදුටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසී ය.
මෙරට මුඛ සහ හනුක ශල්‍ය වෛද්‍යවරු, මුඛ පිළිකාවට එරෙහි සටනේ පෙරමුණේ රැඳී සිටිමින් කල්තියා රෝගීන් හඳුනා ගැනීම සහ රෝග විනිශ්චය කිරීමේ සිට ශල්‍ය ප්‍රතිකාර සහ මුහුණේ ප්‍රතිනිර්මාණය කිරීම් දක්වා කටයුතු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස මුඛ සෞඛ්‍යය ප්‍රාථමික සෞඛ්‍ය සේවාවට ඒකාබද්ධ කිරීම, මහජනතාව දැනුවත් කිරීම, කල්තියා හඳුනා ගැනීම සහ පරීක්ෂා කිරීම ප්‍රවර්ධනය කිරීම, විශේෂයෙන් ඌන සේවා ප්‍රදේශවල පිළිකා ප්‍රතිකාර පහසුකම් ශක්තිමත් කිරීම, දුම්කොළ හා මධ්‍යසාර හානිකර භාවිතය අවම කිරීම සඳහා ජාතික දුම්කොළ හා මධ්‍යසාර අධිකාරී (NATA) පනතට යෝජිත සංශෝධන ඇතුළුව නියාමන රාමුව වැඩිදියුණු කිරීමට ද කටයුතු සිදු කරන බව පැවසූ අමාත්‍යවරයා සියලුම රෝහල් මුඛ සහ හනු මුහුණේ සැත්කම් (OMFS) ඒකක වලින් සමන්විත නොවන බවත්, එබැවින් ඒ සදහා සුදුසු ක්‍රමයක් සකස් කර සමහර ඒකක සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හෝ විශේෂඥ කාර්ය මණ්ඩල ලබාදෙමින් එම අඩුපාඩු සපුරාලීමට කටයුතු කරන බව ද එමෙන්ම එම එ්කක වල මානව හා භෞතික පහසුකම් වැඩි දියුණු කිරීම, මුඛ පිළිකා සහ ප්රතිනිර්මාණ සැත්කම් වැනි ක්ෂේත්රවල උසස් පුහුණුව සහ ශිෂ්‍යත්ව සඳහා සහාය වීම වැනි කාර්යයන් ප්රමුඛ ලෙස සළකා කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.
ශ්‍රී ලංකා මුඛ සහ හනු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (SLAOMS) යනු මුඛ සහ හනු ශල්‍ය වෛද්‍ය වෘත්තිය නියෝජනය කරන ජාතික සංගමය වේ. මෙම සංගමය ජාත්‍යන්තරව ද පිළිගැනීමට ලක්ව ඇති අතර, ගෝලීය ක්ෂේත්රය තුළ ද එහි කාර්යභාරය ඉටු කරමින් තවත් බොහෝ ජාතික හා කලාපීය සංගම් සමඟ සම්බන්ධතා ද ඇති කර ගෙන ඇත.
මෙම සැසිවාරයේ දී ප්‍රධාන විෂය දේශණය විශේෂඥ වෛද්‍ය අනුෂාන් මධුශංක මහතා විසින් පවත්වන ලදි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මුඛ සහ හනු ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය ප්‍රශාන්ත අතපත්තු, ජාත්‍යන්තර මුඛ සහ හනු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය Rui Feranandes, ශල්‍ය පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපති වෛද්‍ය කණිෂ්ක ද සිල්වා, මුඛ සහ හනු ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
