මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටස ඉදිකිරීම කඩිනමින් විය යුතු බවත් මෙය ප්රමුඛ සංවර්ධන කාර්යයක් සේ සලකා ඉටු කළ යුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සදහන් කළේය.
කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සහ සම සභාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවති අවස්ථාවේදී රාජපක්ෂ මහතා විසින් යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කරනු ලැබීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස මේ වනවිට අවසන්ව පවතින මුත් දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධවීමට මීරිගම සිට පස්යාල හරහා කඩවත දක්වා සාමාන්‍ය මාර්ගය ඔස්සේ ගමන් ගැනීමට සිදුව ඇති බැවින් කඩවත සිට මීරිගම දක්වා වන කොටස කඩිනමින් ඉදිකිරීම විය යුතු බව උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා සිය යෝජනාව පිලිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කිලෝ මීටර් 37 ක දුරින් යුත් කොටස ඉදිකිරීමේ කටයුතුවල යම් මන්දගාමී බවක් මේ වනවිට පැවතියද මාර්ගය දිවෙන ප්‍ර දේශ කිහිපයක ප්‍රධාන ඉදිකිරීම් සිදුව ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනු ලැබීය.
කොළඹ පිටත වටරවුම් මාර්ගයෙන් අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුවට නුදුරුව මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භය මීටර් 23 ක් උසැති කුලුනු මතින් තැනවෙන අතර කඩවත සිට මීරිගම දක්වා වන කිලෝ මීටර් 37 කින් යුත් කොටස තුල ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගනිමින් කිලෝ මීටර් 15 ක පමණ දුරක් කුලුනු මතින් ඉදිකෙරෙනු ඇත.
කඩවත - මීරිගම කොටසෙහි අන්තර් හුවමාරු ස්ථාන තුනකින් සමන්විතව තැනවෙන අතර එය ගම්පහ , වේයන්ගොඩ සහ මීරිගම දකුණ වශයෙනි.
ගම්පහ තිලකරත්න දිසානායක