ශ්‍රී ලංකා සමුපාකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපති දර්ශන ලලිත් සමරවික්‍රම මහතා ඉලක්ක කොට ඉකුත් (05) දා සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් තිදෙනෙකු කෙරෙහි මූලික විමර්ශන ආරම්භ කර ඇතැයි පරීක්ෂක පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
ඒ අතර රක්ෂණ සමාගමේ නිලධාරීන් දෙදෙනකු හා ඔවුන්ගෙ සමීපතමයකු සිටින බව පොලිසිය කියයි .
ඉකුත් (05) දා උදෑසන 6.45 ට පමණ මීගොඩ වල්පිට ගැමුණු මාවත ප්‍රදේශයේදී මෝටර් රථයක යමින් සිටි හිටපු උප සභාපතිවරයා ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනකු රිවෝල්වරයක ආධාරයෙන් සිදු කොට පළා ගොස් තිබු අතර වෙඩි ප්‍රහාර හතරක සලකුණු මෝටර් රථයේ දක්නට තිබූ බව පැවසේ .
ඉන් හිටපු උප සභාපතිවරයාගේ අතකට තුවාල සිදුව තිබූ අතර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට යොමුකළ බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි .
පාදුක්ක වල්පිට පාර තිසර උයනේ අංක 202/03/ඒ නිවසේ සිට දර්ශන ලලිත් සමරවික්‍රම මහතා ශ්‍රී ලංකා සමූපකාර රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස 05 දා උදෑසන වැඩ භාර ගැනීමට නියමිතව තිබූ අතර ඒ සදහා ඔහු තනිවම සිය මෝටර් රථයෙන් යමින් සිටියදී මෙම අකරතැබ්බයට මුහුණ පා තිබුණි .
මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රනාන්දු මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ක්ෂණිකව පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
ඒ සදහා නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් ද පැමිණ පරීක්ෂණයක් ආරම්භ කරන ලදී .
පසුව සිද්ධිය සම්බන්ධයෙන් තුවාල කරු ගෙන් හා ඔහුගේ බිරිඳගෙන් ලබාගත් ප්‍රකාශ වලය අනුව සැකකටයුතු කරුණු කිහිපයක් අනාවරණය වී තිබේ.
මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ හිටපු උප සභාපති වරයා සිද්ධිය වූ දා උදෑසන සිය ආයතනයේ සභාපති තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතව තිබු බවත් ඊට එම ආයතනයේම තවත් පාර්ශ්වයක් උත්සහයක් දරා ඇතත් එය ව්‍යර්ථ වීම හේතුවෙන් කිසියම් මතභේදාත්මක තත්ත්වයක් උදාවී තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පැවසේ .
සමුපකාර රක්ෂණ සමාගමේ රුපියල් මිලියන 100ක පමණ මූල්‍ය වංචාවක් පසුගිය කාලයේ සිදුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් එහි සභාපතිවරයාට විරුද්ධව සුභ සාධක සංගමයේ නිලධාරීන් ඇතුළු 250 දෙනෙකු පමණ සහභාගී වී ඉකුත් මැයි 22 දා කොළඹ ග්‍රෑන්ඩ්පාස් අංක 14 ස්ථානයේ බිම් මහළේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.ඒ සඳහා වෙඩි ප්‍රහාරයට ලක්වූ හිටපු උප සභාපතිවරයා ද ක්‍රියාකාරීව කටයුතු කර තිබූණී .
මීට අමතරව මෙම ආයතනයේ සංස්ථාපිත ප්රකාශනයේ සඳහන් පරිදි විධිමත්ව අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් පත්තර නොතිබීම නිසා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබුණේ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරික කටයුතු ජුනි 30දා දක්වා තාවකාලිකව අත්හිටුවීමටයි. මේ තත්ත්වය මත අභ්‍යන්තර ගැටලු රැසක් මතුව තිබුණි.
කෙසේ වෙතත් ඉකුත් මැයි 25 දා රැස්වූ රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ යෝජිතයින් එම තහනම ඉවත් කොට 26 දා සිට බලාත්මක වන පරිදි යළි සාමාන්‍යය රක්ෂණ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමටත් අධ්‍යක්ෂක මණ්ඩල සංයුතියේ වෙනසක් සිදුකිරීමටත් පියවර ගෙන තිබුණි .
ඒ අනුව හිටපු උප සභාපති වරයා අදාල රක්ෂණ සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ සඳහා තව පාර්ශවයක් උත්සාහ දරා තිබුණි .එහෙත් එම උත්සාහය ව්‍යාර්ථ වීම නිසා නව සභාපතිවරයාට මරණීය තර්ජන පවා එල්ල වී තිබූ බවට විමර්ශනවලදී අනාවරණය වී තිබූ බව පැවසේ .
ඒ අනුව අදාල මරණීය තර්ජන සිදු කළ බව පැවසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් තිදෙනෙකු පිළිබදව මූලික විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි .
එහෙත් වෙඩි තැබීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම වෙඩි තැබීම කිසියම් පාර්ශ්වයක මෙහෙයවීමෙන් කොන්ත්‍රාත්තුවක් මත සිදු කළාද නැද්ද යන්න පිළිබදවත් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
සිද්ධියට සම්බන්ධ කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත .
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය හා මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති .